ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරන ජාතික යෞවන ක්‍රීඩා උලෙළ ඊයේ (16) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය.
තාරුණ්‍යයේ ක්‍රීඩා හැකියාවන් උරගා බැලෙන සිව් දිග යා කෙරෙන මහා ක්‍රීඩා මංගල්‍යය ලෙස හැඳින්වෙන මේ ක්‍රීඩා උලෙළ මෙවර පැවැත්වෙන්නේ 34 වැනි වරටය.
ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා උලෙළ ආරම්භ වූ අතර, ජාතික තරුණ සේවා සභාවේ තරුණ සේවා අධ්‍යක්ෂ ජනරාල්/ සභාපති පසිඳු ගුණරත්න මහතා ද එම අවස්ථාවට එක් විය.
අවුරුදු 20න් පහළ සහ ඉහළ ලෙස වයස් කාණ්ඩ දෙකකින් කාන්තා සහ පිරිමි ලෙස පැවැත්වෙන මේ තරගාවලියට දිවයිනේ සියලු දිස්ත්‍රික් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3000ක පමණ පිරිසක් සහභාගී වෙති.
ක්‍රීඩා ඇමැතිවරයා විසින් තරගාවලිය නිල වශයෙන් ආරම්භ කිරීමේ නිවේදනය සිදු කළ අතර, ක්‍රීඩා උලෙළේ ඔලිම්පික් පහන දැල්වීම මෙවර ආසියානු ක්‍රීඩා උලෙළේදී මීටර් 400 සහාය දිවීමේ ලෝකඩ පදක්කම් දිනාගත් කාන්තා කණ්ඩායමේ සාමාජිකාවක මෙන්ම අවසන් වරට පැවති 2021 යොවුන් ක්‍රීඩා උලෙළේදී අවුරුදු 20න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව වූ සයුරි ලක්ෂිමා මෙන්ඩිස් සහ 2021 ජාතික යෞවන ක්‍රීඩා උලෙළේ අවුරුදු 20න් පහළ දක්ෂතම ක්‍රීඩකයා වූ බී.ඒ.එස්.කේ. ඩයස් විසින් සිදු කෙරිණි.
සමාරම්භක උලෙළට කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි, ජනාධිපති තරුණ කටයුතු අධ්‍යක්ෂ රන්දුල අබේධීර, සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ලාල් චන්ද්‍රසිරි, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ආර්.එස්. වික්‍රමරත්න යන මහත්වරුන් සහභාගි වූහ.
මෙවර ක්‍රීඩා උලෙළේ මලල ක්‍රීඩා ඉසව් අද සිට තෙදිනක් පුරා පැවැත්වෙන අතර, පළමු දිනය යටතේ අවසන් තරග 19ක් පැවැත්වීමට නියමිතය. අවුරුදු 20න් ඉහළ පිරිමි මීටර් 10,000 ඉසව්වෙන් අද පෙරවරු 8.30ට මලල ක්‍රීඩා ඉසව් ආරම්භ වන අතර, අද දවසේ විශේෂ අවධානයක් යොමුවන ඉසව් බවට මීටර් 200 අවසන් තරග 4 පත්ව තිබේ.
ඊට අමතරව උස පැනීම පිරිමි, දුර පැනීම කාන්තා අවුරුදු 20න් පහළ, යගුළිය විසිකිරීම පිරිමි සහ හෙල්ල විසිකිරීම කාන්තා අවුරුදු 20න් ඉහළ සමඟ අවුරුදු 20න් ඉහළ මීටර් 5000 කාන්තා අවසන් තරගය පෙරවරුවේ පැවැත්වෙන අතර, පස්වරුවේ අවුරුදු 20න් ඉහළ කාන්තා උස පැනීම, පිරිමි දුර පැනීම, 20න් පහළ පිරිමි යගුලිය විසිකිරීම, කාන්තා හෙල්ල විසිකිරීම, මීටර් 800 අවසන් තරග 4 සහ අවුරුදු 20න් ඉහළ කාන්තා තුන් පිම්ම අවසන් තරග පැවැත්වේ. ඊට අමතරව ඉසව් 20ක මූලික වටයේ තරග ද පැවැත්වීමට නියමිතය.