බද්දක් පැනවූ වහාම ‘ඒ කඩාගෙන වැටුණු මරාලය මොකක් දැයි’ ජනී ජනයා මොර දෙන්නේය. රටේ බදු ආදායම වැඩි කර ගන්නේ නැතුව, රටක් විදිහට අපට ‘රන් එකක්’ ලබාදීමට නොහැක්කේය. එහෙම වුණාට බද්දක් ගැසූ සැණින් වැස්සෝ අවුල් වන්නාහ. බද්ද යනු මරාලයට සම්‍යක් වන්නේ එහෙයිනි. මරාලය වනාහි බද්දක් සඳහා ඇති නමකි.
මියගිය අයකුගේ දේපල සහ ඉතුරුම්වල කොටසක් බද්දක් ලෙස රජයට ගෙවන ක්‍රමයක් ඉංග්‍රීසි පාලන කාලයේදී විය. මළත් ආණ්ඩුව ටැක්ස් ගහන ඒ ක්‍රමවේදය සඳහා භාවිතා වූයේ මරාල බද්ද යන නමය. මේ ටැක්ස් එකේ කලෙක්ටර්ල වූයේ මරාල විදානේය. රොබර්ට් නොක්ස්ගේ සටහන් අනුව උඩරට රාජධානි සමයේද ඔය මරාලය කඩා පහත් වී තිබුණි.
අහල පහල එකෙක් කොතැන හෝ සිදු වූ අවුලකට ගෙඟ් මුහුදේ පැන්නේ නම්, එල්ලී මලේ නම්, එහා ගෙදර එකා ඒ ගැන සෙවීමක් නොකළේ ඇයි යන්න ඒ කාලයේ වගකීමක් ලෙස පැවතුනි. අද නම් සමහර එකාලා එල්ලී මළේ යැයි මෙහා ගෙදර එකා දැනගන්නේ පත්තරෙන්ය. ඒ තරමට අල්ලපු ගෙදර සමඟ අපේ සම්බන්ධය දුරස්ය. අසල්වැසියා සිය දිවි හානි කර ගත්තේ තම වගකීමේ පලුද්දක් නිසා යැයි පවසා ඒ සඳහා වටේ ගෙවල්වල එවුන්ට ගැසූ බද්දක් ද විය. එය ද මරාල බද්දය. මේ නිසා හැම බද්දක්ම මේ රටේ ජනී ජනයා දකින්නේ මරාලයක් ලෙසය. එහෙම තියෙද්දී බද්ද නිධානයක් සේ දකින ‘බිස්නස්මන්ලා සෙට් එකක්’ ද වේ. ආණ්ඩුවක් බද්දක් ගසන්නේ කාට හෝ ගොඩ යන්නට නොවේ. එහි අරමුණ රජයේ ආදායම වැඩි කර ගැනීමය. ඒ වුණාට සමහර එකාලා බද්දෙන් ගොඩ යන්න තරමට ‘ක්‍රියේටිව්ය’. සීනි හදන කියුබාවේ ෆැක්ටරිකාරයා හෝ පිටි නිෂ්පාදනය කරන අෙමරිකාවේ සමාගමවත් ‘ඔය බඩුවලින්’ එහෙම ලාභයක් ගන්නේ නැත.
2020 ඔක්තෝබර් මාසයේ සීනි සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා ආණ්ඩුව අඩු කළේය. සීනි කියන්නේ බදු පිට බදු ගැසිය යුත්තකි. එතරම් සෞඛ්‍ය අවුලක් ඇති කරන කඩේ විකිණීමට ඇති අනෙක් භාණ්ඩ වන්නේ අරක්කු සහ සිගරට්ය. කොකේන්වලට පමණක් දෙවැනිව ඇබ්බැහිකාරකයක් වන සීනි, ලෝකයේ ජනතාවගේ සෞඛ්‍යයට ඇති භයානකම හතුරෙක් වුවත්, අපේ ආණ්ඩු ඒවාට සහන දෙන්නේ ජනයා පිනවීම පිණිසය. සීනි බද්ද අඩු කිරීම වාසියට ගත් එක් සමාගමක් රුපියල් බිලියන 16ක අයුතු ලාභයක් උපයා ගත්තේය. බද්ද ශත 25 සිට රුපියල් 50 දක්වා යළි වැඩි කළේය. සීනි ආනයන සමාගම්, ඒ බද්දෙන් ද රුපියල් බිලියන ගණනක් හම්බු කළේය.
බදු වැඩි කළ ද බඩු ගොඩය. අඩු කළ ද ගොඩය. ඔහොම සූත්‍රයක් කොම්පැනි හදා ගන්නේ මේ රටේ බදු ක්‍රමයේ ඇති ලුප්හෝල් නිසාය. බදු නොගෙවා ආණ්ඩු සමඟ ඔට්ටු සෙල්ලම් කරන එක් ‘කොම්පැනි කාණ්ඩයකි’. තව කාණ්ඩයක් බදු ගසන වාරයක් පාසා හෝ බදු අඩු කරන වාරයක් පාසා ගොඩය. මේ කාණ්ඩ තුන තවදුරටත් රටේ ජීවත් වේ නම් කිට්ටුම තැනින් මුහුදට පැනීම අපට සැපතකි.
සීනි වගේම අනිත් ‘වහ’ වන්නේ පිටිය. එහෙම කියා මේ රටේ පිටි මිල ඕසෙට වැඩි කළොත් ආණ්ඩුවට යන්න වෙන්නේ හූව මැද්දේය. එතරමට ඒ රටේ එවුන් පිටි මත්තේ නහින්නේය. මේ නිසා පිටි කියන්නේ කෑම හදාගැනීම පිණිස එන යමක් නොව දේශපාලන අවියකි. 2023 අගෝස්තු මාසයේ තිරිඟු පිටි ආනයනය තහනම් කර නැවත තිරිඟු පිටි ආනයනය කිරීමට ආණ්ඩුව ඉඩ දුන්නේය. තිරිඟු පිටි සැපයුම්කාර සමාගම් දෙකක් ද බිලියන ගණන් අයුතු ලාභ ඒ ‘පැද්දිල්ලෙන්’ උපයා ගත්තේය. පැද්දිල්ල කියන්නේ ඔන්චිල්ලාව උඩ – පහළ කොහේ ගියත්, මේ ගැන්සිය ගොඩ බවය. බදු අඩු කර මහජනයාට සහනදීම සඳහා ආණ්ඩුවක් කටයුතු කරන සඳ, එතැනින් ද වාසි ගන්නේය. බදු වැඩි කළ සැණින් පරණ තොගය, අලුත් වැඩි මිලට විකුණා යළි ලාභ ලබන්නේය. මේ ගසා කෑම සඳහා හැමදාම බැණුම් අසන්නේ දේශපාලකයාය. එන හැම පැත්තම අල්ලාගෙන, නිලධාරීන් ද නළවාගෙන මේ ගැන්සිය හුරේ දමා රඟන්නාහ. ඔය වැඩේ දිගටම කරගෙන යන්න දෙනවා කියන්නේ ‘මේක උන්ට ගිය රට’ කියන එකය. පෙරේදා ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ මේ සෙට් එකෙන් නිසි පරිදි බදු අය කිරීමට කටයුතු කරන ලෙසය.
ඒ පිළිබඳව ක්‍රම සහ විධි කාරක සභාවට මේ තීරුව ප්‍රශංසාව පළ කරන්නේය. එහෙම උපදෙස් ලබා දුන් පළියට මේ රටේ කිසිම වැඩක් සිදු වන්නේ නැත. ඒ නිසා මෙය පාර්ලිමේන්තුවේ අවධානයට භාජනය කර, ඒ සමාගම් සඳහා මූල්‍ය පනතක් හෝ සකස් කර අදාළ මුදල අය කර ගත යුතුය. උපදෙස් අසා බබාලා සේ පිටත්ව යන නිලධාරීහු, ඔෆිස් ගිය ගමන් අර ෆයිල් එක පැත්තකට දමා ගෙදර යන්නාහ. පසුදා උදේ ඊළඟ ෆයිල් එක රැගෙන ඊළඟ මීටිම සඳහා යන්නාහ. ආයෙත් දවසක ක්‍රම සහ විධි කාරක සභාව රැස්වෙන විට ‘උපදෙස්’ සඳහා මොකක් හෝ රවුම් කර ගත හැකි පිළිතුරක් හදාගෙන එන්නාහ.
ඔය ඔට්ටුව දිගටම අල්ලන විට ‘කේස් එක’ අපිට ද මතක නැත. අර ගැන්සිය, ඒ පැද්දිල්ලෙන් ද ගොඩය.