Home » සුව දිවියට තර්ජනයක් වන ප්ලාස්ටික් කඳු

සුව දිවියට තර්ජනයක් වන ප්ලාස්ටික් කඳු

by gayan
November 18, 2023 1:00 am 0 comment

(පසුගියදා පරිසර අමාත්‍යාංශයේ පැවැති ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ වැඩමුළුවක් ඇසුරිනි)

වර්තමානයේ ලොව සියලු ජීවීන්ට ප්‍රබල ජීවිත තර්ජනයක් ගෙන දෙන ප්‍රමුඛ පෙළේ ගැටලුවක් බවට ප්ලාස්ටික් හා පොලිතින් භාවිතය පත්ව ඇත. ප්ලාස්ටික් ලොවට හඳුන්වා දෙනු ලැබුවේ මිනිසාගේ පහසුව උදෙසාය.

නමුත් අද එය පරිසර විනාශයට පාර කපමින් සිටින්නේ මිනිසාටම පාරාවළල්ලක් වෙමිනි. එයට හොඳම උදාහරණ වන්නේ, සාගර කලාපයන්හි නොයෙක් තැන්වල ප්ලාස්ටික් කඳු ගොඩ ගැසී තිබීමය.

2010 වසරේදී රටවල් 192ක් මුල්කර ගනිමින් පවත්වන ලද සමීක්ෂණයේදී අනාවරණය වූ එක් කරුණක් වන්නේ, පොලිතින් හා ප්ලාස්ටික්වලින් ඉවතලන අපද්‍රව්‍ය 80%ක් පමණ සාගරයට මුදාහරිනා බවයි. ප්ලාස්ටික් මඟින් ක්‍රම කිහිපයක් යටතේ සාගරය මෙන්ම පරිසරය දූෂණය වීම සිදු වුවද මෙම අධ්‍යයනයෙන් හෙළි වන්නේ ඍජුවම ප්ලාස්ටික් මූලික කරගනිමින් සාගරයේ සිදුවන විනාශයයි.

ඉහත සඳහන් කළ පරිදි 80%ක පමණ ප්ලාස්ටික් ප්‍රමාණයක් සාගරයට මුදා හරිනුයේ රටවල් 20කිනි. පළමු තැන ලෙසින් සඳහන් වන්නේ චීනයයි. කෙසේ වෙතත් චීනය, පිලිපීනය, ඉන්දුනීසියාව, වියට්නාමය සහ තායිලන්තය යන රටවල් සයුරට මුදාහරින 80% ක ප්ලාස්ටික් අපද්‍රව්‍යයන්ගෙන් 50%ක හිමිකරුවන්ය.

කෙටි කාලීන ලෙසින් පොලිතින් හා අපද්‍රව්‍ය සාමාන්‍ය ජන ජිවිතය උදෙසා ප්‍රයෝජනවත් වුවද දිගුකාලීන ලෙසින් ගත් කල කාලයක් සීමාවක් නොමැති අති ධාවනකාරී පාරිසරික විනාශයකි. පරිසර සංවිධානයන් කර ඇති දත්තයනට අනුව මීට වසර 73කට පමණ පෙර එනම් 1950 දශකයේදී ලෝකයේ පැවතුණා යැයි සැලකෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් දෙකකි. ප්ලාස්ටික් යනු වසරක් හෝ දෙකකින් දිරාපත් නොවන්නකි. එහෙයින් ගත් කල එම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයම ඉන් පසු කාලයන්හිදී ගොඩගැසුණු අපද්‍රව්‍යයන්ද සමඟින් මේ මිහිතලය මත තවමත් රැඳී පවතී. අද වන විට සඳහන් වන්නේ ප්ලාස්ටික් මිලියන ටොන් 150කට වඩා සාගරය මත තිබෙනා බවයි. පැහැදිලිවම මේ සම්බන්ධයෙන් කතා කිරීමේදී මෙමඟින් සිදුවන විනාශය අංශ ගණනාවක් පුරා විහිදී පවතින බව කිව යුතුය. ගොඩබිම වාසය කරන්නන්ට මෙන්ම සාගරයේ ජීවීන්ට ද එය එක ලෙසම හානිදායක වන අතර ප්ලාස්ටික් හා පොලිතින් අපද්‍රව්‍ය පිලිස්සීම මඟින් ඇතිවන වායු දූෂණය කිසිදු විටක පාලනය කළ හැක්කක් නොවේ. එය වාතලයට මුසුවන්නේ නොයෙකුත් වර්ගයේ විෂ වායුන් ලෙසිනි. මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ නිපදවන ඍජුෆෝම් පෙට්ටි සහ ලන්ච්ෂීට් සඳහා පිළියමක් ගෙන හැර පෑවාය. එනම්, ලන්ච්ෂීට් ඝනකම මයික්‍රෝ මීටර් 20කට හෝ ඊට වැඩිවන පරිදි නිෂ්පාදනය කළ යුතු යැයි තීරණයකට පැමිණීමය.

මෙම තීරණය ගනු ලැබුවේ කරුණු දෙකක් මූලික කර ගනිමිනි. එනම් මෙම ලන්ච්ෂීට් සේදීමෙන් පසු තවත් කාර්යයකට යොදාගත හැකිවීමත් කසළ බඳුනකට දැමූ පසු පහසුවෙන්ම හඳුනාගත හැකිවන පරිදිය.

ආහාර විෂ වීම්

කෙසේ වෙතත් පෙර සඳහන් කළ පරිදි සාගරයට එක්වන ප්ලාස්ටික් මඟින් බිස්ෆිනෝල් සහ පොලිස්ටයිරින් සාගරයට මුදා හරින බවත් පොලිස්ටයිරින් කැබලි සාගරයේ ඇති විශාල ප්ලාස්ටික් දූෂණයන් වන අතර ඒවා සාගර ජීවීන්ගේ ආහාර දාමයන්ට එක්වීමෙන් ආහාර විෂ වීම් සිදු වන බවත් සොයාගෙන තිබේ. එමෙන්ම සාගරයේ ඇති ප්ලාස්ටික් නැවත වෙරළ තීරයන් කරා ගොඩගැසීම නිසාද පරිසර හානිය උග්‍ර වීම දක්නට ලැබෙන කරුණකි.

මෙයට එක් උදාහරණයක් ලෙස සඳහන් කළ හැකි වන්නේ බස්නාහිර වෙරළ තීරය පිළිබඳව කළ පරීක්ෂණයකදී ප්ලාස්ටික් මඟින් වෙරළ තීරය විනාශව තිබෙන අයුරු ප්‍රතිශතාත්මකව ගෙනහැර පාන්නට හැකි වීමයි. වෙරළ තීරයේ ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍යයන්ගෙන් වැඩි ප්‍රමාණයක් 14%ක් පවතින්නේ ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශයන්හිද ජනප්‍රිය සබන් හා ක්‍රීම් වර්ග නිපදවන ආයතනයක ප්ලාස්ටික් අපද්‍රව්‍යයන්ය.

දෙවැනි තැන විදේශීය ජනප්‍රිය පැණි බීම බෝතල 10%ක් පැවති අතර තෙවන ස්ථානයට සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය බිස්කට් සමාගමක ප්ලාස්ටික් හා පොලිතින්ය. එය 9%කි. මේ ආකාරයෙන් විවිධ සමාගම් නාමයන් යටතේ එසේ සඳහන්ව තිබිණි.

ප්ලාස්ටික් වර්ගීකරණය

අප බොහෝදෙනා ප්ලාස්ටික් යනුවෙන් එක් භෞතික වස්තුවක් සම්බන්ධයෙන් පමණක් කරුණු කාරණා එක්රැස් කළ ද, එය වර්ගීකරණයට ලක්කිරීමේදී විවිධ ප්‍රභේදයන්ට බෙදී යන බව පෙනී යයි. ප්ලාස්ටික් වර්ගීකරණය කිරීමේදී ඒවා PET හෝ PETE ප්ලාස්ටික්, HDPE ප්ලාස්ටික්, PVC ප්ලාස්ටික්, LDPE ප්ලාස්ටික්, PP ප්ලාස්ටික් සහ PS ප්ලාස්ටික් ලෙසින් වර්ගීකරණයට ලක්වේ.

මේ ආකාරයට ප්ලාස්ටික් වර්ගීකරණය කිරීමේදී ඒ සඳහා විවිධ ක්‍රමවේද පවතින අතර, ඉන් එක් වර්ගීකරණයක් වන්නේ විවිධ සංකේත භාවිත කරමින් ඒවා වර්ගීකරණයට ලක්වීමයි. යම් යම් ප්ලාස්ටික් නිෂ්පාදනයන්හි කේතයක් සහිතව එය නිර්මාණය වන්නේ ඒවා ප්‍රතිචක්‍රීකරණයේදී ඇති පහසුව වෙනුවෙනි.

ඉහත සඳහන් කළ පරිදි PET හෝ PETE ප්ලාස්ටික් හි දක්නට ලැබෙන ලක්ෂණයක් වන්නේ ඒවාහි විනිවිද පෙනීමයි. මෙම ප්ලාස්ටික් දක්නට ලැබෙන නිෂ්පාදන වන්නේ ආවරණයන්, ආහාර බහලුම් සහ ප්ලාස්ටික් බෝතල්වලය. මෙහි දක්නට ලැබෙන කේතය වන්නේ ඊතල තුනක් සහිත ත්‍රිකෝණයක් තුළ අංක 3 සඳහන් කර තිබීමය. HDPE ප්ලාස්ටික් නිෂ්පාදනයන්හි ඇති බහාලුම්වල ත්‍රිකෝණය තුළ ඇත්තේ අංක 2යි. මෙම ප්ලාස්ටික් නිෂ්පාදනයන් අතරට රූපලාවණ්‍ය බහාලුම්, පිරිසිදු කිරීමේ දියරයන් ආදිය ඇති උපකරණ, ආහාර බහාලුම් ආදී හි දක්නට ලැබේ. මෙම ප්ලාස්ටික් වර්ග ද ප්‍රතිචක්‍රීකරණය කළ යුතුය. තවත් ප්ලාස්ටික් වර්ගයන් ලෙසින් හඳුන්වා ඇත්තේ PVC ප්ලාස්ටික්ය. මේවා මඟින් නිෂ්පාදනය වන්නේ කේබල්, පයිප්ප, පිරිසිදු කාරක පුරවා ඇති බෝතල්, රථවාහන ඇතුළත ඇති නිෂ්පාදනයන් සහ යම් යම් ආහාර අසුරණයන්හිද අන්තර්ගත බව සඳහන්ය. එමනිසා මෙය පරිසරයට පමණක් නොව සෞඛ්‍යයට ද හානිදායක තත්ත්වය ත්‍රිකෝණය තුළ ඇති අංකය ලෙසින් මෙහි සටහන් වන්නේ ද අංක 3යි.

LDPE ප්ලාස්ටික් හඳුනාගැනීමට හැකි වන්නේ එයට යොදා ඇති සංකේතයෙනි. එහි අංකය වන්නේ ත්‍රිකෝණය මැද යොදා ඇති අංක 4යි. මෙම ප්ලාස්ටික් මඟින් නිෂ්පාදන කරනු ලබන නිෂ්පාදනයන් අතරට ගැනිය හැකි වන්නේ මෘදු ප්ලාස්ටික් බෝතල්, කසළ එක්කිරීමට ගන්නා බෑග් ආදියයි. ප්ලාස්ටික් වර්ගීකරණය තුළ වර්ගීකරණයට ලක්කළ තවත් ප්ලාස්ටික් වර්ගයක් වන්නේ PP ප්ලාස්ටික්ය. ඊතල සංකේතය මැද යොදා ඇති අංක 5න් මෙම ප්ලාස්ටික් වර්ගය හඳුනාගත හැකිය.

ඊතල සලකුණ මත අංක 6 යොදා ඇත්තේ PS යනුවෙන් නම් කරන ලද ප්ලාස්ටික්ය. මෙම ප්ලාස්ටික් මඟින් නිෂ්පාදනය කරනු ලබන්නේ සෙල්ලම් බඩු, ඇසුරුම්, ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන, ගෘහ උපකරණ ආදියයි. මෙම වර්ගීකරණයන් තුළම තවත් වර්ගීකරණයක් සිදුවන අතර, එය හඳුන්වන්නේ වෙනත් වර්ගවල ප්ලාස්ටික් ලෙසිනි.

දිනකට ප්ලාස්ටික් මිලිග්‍රෑම් 2ක් ශරීරයට

ඉහත සඳහන් කළ කිසිදු ප්ලාස්ටික් වර්ගයකට අයත් නොවන ප්ලාස්ටික් මේ සඳහා අඩංගු වේ. පෙර වර්ගීකරණයට ඇතුළත් නොවූ ප්ලාස්ටික් වර්ගයක් වන්නේ (Bio Plastic) ජෛව ප්ලාස්ටික්ය. ඒවා නිපදවනු ලබන්නේ පරිසරයට දැඩි හානියක් නොවන පරිද්දෙන් පුනර්ජනනීය ස්වාභාවික සම්පත් මුල්කර ගනිමිනි.

එමෙන්ම (Thermo Plastic) තාප ප්ලාස්ටික් හා මයික්‍රො ප්ලාස්ටික් ද හැඳින්විය හැකිය. මයික්‍රෝ ප්ලාස්ටික් මඟින් ජලජ ජීවීන්ගේ ආහාරදාමය සහ එක්ව එය මිනිසාගේ ශරීරයට ද ඇතුල්වීමේ හැකියාව පවතී. තවද තාප ස්ථායී ප්ලාස්ටික් යනුවෙන් හැඳින්වෙන්නේ කෘත්‍රිම රබර්, සිලිකොන් ආදියයි.

ප්ලාස්ටික් යනු පොසිල ඉන්ධනයන්හි ඵලයකි. එම නිසා මූලිකවම පොසිල ඉන්ධනවලින් ඈත්වීම සිදු කළ යුතුය. පාරිසරික විනාශයට අමතරව ප්ලාස්ටික් මඟින් සිදුවන භයානකම තත්ත්වය වන්නේ ප්ලාස්ටික් ශරීරයට ඇතුල්වීමට ඇති අවදානමයි. මේ වන විට සිදු කර ඇති පරීක්ෂණවලින් හෙළිවී ඇති ආකාරයට දිනකට ප්ලාස්ටික් මිලිග්‍රෑම් 2ක් පමණ ශරීරගතවීම සිදු වේ. මෙහි වඩාත් ගැටලුකාරීම තත්ත්වය වන්නේ මවකගේ කුස තුළ සිටින දරුවකුට පවා පෙකිණි වැල මාර්ගයෙන් මයික්‍රෝ ප්ලාස්ටික් ශරීරගත වීමට ඇති හැකියාවයි.

මෙම සියලු උවදුරන්ට පිළිතුරක් ලබාදීමේ අරමුණින් 2021 වර්ෂයේදී (UNEA) United Nation Enviroment Assembly විසින් නීතිමය බැඳීම් ඇති මෙවලම් සහිත ප්ලාස්ටික් පිළිබඳව ව්‍යසනයට ජාත්‍යන්තර සාකච්ඡා කමිටුවක් පත්කිරීමට තීරණය කෙරිණි. ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේදී ද පවත්වන ලදී.

අපද්‍රව්‍ය කළමනාකරණය

කෙසේ වෙතත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය මඟින් සිදුවන විනාශයට පිළිතුරක් සෙවීමේ අරමුණින් පරිසර අමාත්‍යාංශය විසින් දිගුකාලීන වැඩපිළිවෙළක් ආරම්භ කරන ලදී. එය හඳුන්වා දෙනු ලැබුවේ REDUCE, REUSE, RECYCLE මූලික කර ගනිමින් 3R ලෙසිනි. මින් ඔවුන් විසින් අදහස් කරනු ලැබුවේ Reduce (අපද්‍රව්‍ය ජනනය අවම කිරීම) Reuse (නැවත භාවිතය) හා Recycle (ප්‍රතිචක්‍රීයකරණය) ලෙසිනි. එය අපද්‍රව්‍ය කළමනාකරණයේ මූලධර්මයකි. ‘ටික් ටික් ප්ලාස්ටික්’ යන තේමාව යටතේ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව සන්නිවේදන වැඩමුළුවක් පසුගිය 8 වැනිදා පරිසර අමාත්‍යාංශයේදී පැවැත්විණි.

පරිසර අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල, අමාත්‍යාංශ ලේකම් අනිල් ජාසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය පැවති අතර මේ කටයුත්ත වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය සහ දකුණු ආසියානු පරිසර සහයෝගිතා වැඩසටහන (SACEP) මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන ද මෙම ව්‍යාපෘතිය සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරයි. මේ සමගාමීව ප්‍රචාරක වැඩසටහන්ද ක්‍රියාත්මක අතර වීඩියෝ පට සහ ප්‍රචාරක මෙවලම්ද ඉදිරිපත් කෙරිණි.

1980 පරිසර පනත යටතේ බිහිවූ මධ්‍යම පරිසර අධිකාරිය පරිසර දූෂණය පාලනයටත් පරිසර ආරක්ෂණ කළමනාකරණයට මෙන්ම ඒ හා සම්බන්ධ දෑ දැනුම්වත් කිරීමටත් කටයුතු කරනු ලබමින් සිටී.

 

 

රජිත බස්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT