Saturday, May 10, 2025
Home » පරිගණකයෙන් හොර මුද්දර ගසා ලිපිවලට අලවා බෙදන්න දීලා

පරිගණකයෙන් හොර මුද්දර ගසා ලිපිවලට අලවා බෙදන්න දීලා

by sachintha
November 20, 2023 1:24 am 0 comment

තැපැල් දෙපාර්තමේන්තුවට අයත් නිත්‍යානුකූල මුද්දරවලට සමාන ව්‍යාජ මුද්දර තොගයක් පරිගණකයක් ආධාරයෙන් වංචනික ලෙස මුද්‍රණය කර ලියාපදිංචි ලිපි කවර මත අලවා එම ලිපි බෙදා හැරීම සඳහා අනුරාධපුර ප්‍රධාන තැපැල් කාර්යාලයට බාර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ නියෝජිත තැපල් කාර්යාලයක හිමිකරුවෙකු මේ මස 23 දින දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය නියෝග කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද අතිරේක මහේස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශයට තවදුරටත් නියෝග කරනු ලැබුවාය. මෙසේ රිමාන්ඩ් කළේ අනුරාධපුර මෛත්‍රිපාල සේනානායක මාවත පස් වන පටුමග අංක 488/9 ලිපිනයේ පිහිටි අරලිය නියෝජිත තැපල් කාර්යාලයේ අයිතිකරු වන අනුරාධපුර බුද්ධගයා මාවත අංක 3 ලිපිනයේ පදිංචි මිලින්ද නිලංගන සෙනවිරත්න නැමැත්තෙකි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය කියා සිටියේ තැපැල් දෙපාර්තමේන්තුවට අයත් නිත්‍යානුකූල මුද්දර වලට සමාන සැක සහිත මුද්දර ඇලවූ එච්. එම්. බී. ෆයිනෑන්ස් ආයතනයට යොමු කරන ලද ලියාපදිංචි ලිපියක් අනුරාධපුර අරලිය නියෝජිත තැපැල් කාර්යාලය මගින් බෙදා හැරීම සඳහා අනුරාධපුර ප්‍රධාන තැපැල් කාර්යාලයට භාර දී ඇති බවයි. පසුව සැක සහිත මුද්දර ඇලවූ අදාළ ලිපිය සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රාදේශීය තැපැල් අධිකාරි ඩබ්. ජී. ආර්. ජයරත්න මහතා අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් කර ඇති බව ද අධිකරණයට දැනුම් දුන් පොලිසිය ඒ අනුව අදාළ පැමිණිල්ල පිළිබඳව මූලික විමර්ශන මෙහෙයවා අනුරාධපුර අරලිය නියෝජිත තැපැල් කාර්යාලයේ අයිතිකරු අත්අඩංගුවට ගත් බව ද කියා සිටියේය.

සැකකාර නියෝජිත තැපැල් කාර්යාල අයිතිකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලදී ඔහු පොලිසියට පවසා ඇත්තේ පවතින ආර්ථික දුෂ්කරතා නිසා මෙලෙස පරිගණකයක් ආධාරයෙන් තැපැල් දෙපාර්තමේන්තුවට අයත් මුද්දරවලට සමාන ව්‍යාජ මුද්දර වංචනික ලෙස මුද්‍රණය කර එම ව්‍යාජ මුද්දර ලිපි මත අලවා බෙදා හැරීම සඳහා අනුරාධපුර ප්‍රධාන තැපැල් කාර්යාලයට යවන බවයි.

සැකකරු කලක සිට තැපල් දෙපාර්තමේන්තුවට අයත් මුද්දරවලට සමාන ව්‍යාජ මුද්දර පරිගණකයක් ආධාරයෙන් මෙලෙස වංචනිකව මුද්‍රණය කර ලිපි මත අලවා බෙදා හැර ඇති බවට සැකයක් පවතින්නේ යැයිද අධිකරණයට ප්‍රකාශ කළ පොලිසිය ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන පැවැත්වෙන බව ද කීවේය. සැකකරු රිමාන්ඩ් කරන ලෙස ද පොලිසිය අධිකරණයෙන් ඇයැද සිටියේය.

සැකකරු ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව දෙපාර්ශවයේ කරුණු දැක්වීම් සැළකිල්ලට ගත් අනුරාධපුර තිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරු ඇප මත මුදා හරින්නැයි නීතිඥයින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහු මේ මස 23 වන දින දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කළාය.

අනුරාධපුර ප්‍රාදේශීය තැපැල් අධිකරි ඩබ්. ජී. ආර්. ජයරත්න මහතා අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව මූලික විමර්ශන මෙහෙයවා සැකකාර නියෝජිත තැපැල් කාර්යාල අයිතිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණ. පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත් ආනන්ද මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක රණවීර සැරයන්වරුන් වන (36946) ජයවර්ධන සහ (33292) කුමාරනායක යන මහත්වරුන් පෙනී සිටි අතර සැකකරු වෙනුවෙන් නීතිඥ සංජය රත්නායක මහතා සමඟ නීතිඥ මදාරා විජේසිංහ මහත්මිය පෙනී සිටියාය අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත පුෂ්ප කුමාර මහතාගේ උපදෙස් මත අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි (1) සංජීව මහනාම මහතාගේ මෙහෙයවීම මත අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

අනුරාධපුර-උපාලි ආනන්ද

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT