මහපොළ අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය දෙසැම්බර් 13 සිට 17තෙක් ජාඇල නගර සභා ක්‍රීඩාංගණයේ දී
“දශක දහයක පමණ කාලයක් ඇනහිටී තිබූ මහපොළ අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය දෙසැම්බර් මස 13 සිට 17 දක්වා ජාඇල නගර සභා ක්‍රීඩංගණයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව තිබේ. මෙම වෙළෙඳ ප්‍රදර්ශනයේ මූලික අරමුණ මහපොළ ශිෂ්‍යත්ව අරමුදල ශක්තිමත්ව ගොඩ නැඟීමයි.
දශක හතරකට වැඩි කාලයක් පුරා දැයේ දූ දරුවන්ගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් සහාය වන මහපොළ ශිෂ්‍යත්ව අරමුදල හුදු ශිෂ්‍යත්ව අරමුදලක් පමණක් නොව ජාතික ව්‍යාපාරයක්. මෙරට බිහිවූ කෘතහස්ත දේශපාලනඥයෙකු වූ ලලිත් ඇතුලත් මුදලි මහතා මෙම අරමුදල පිහිට වූයේ ජාතික දැක්මක් ඇතිවයි. එසේ දැක්මක් ඇතිව කටයුතු කළ නිසාම ආර්ථික සමාජ අර්බුද කොතෙක් පැවතියත් මෙම ශිෂ්‍යත්ව අරමුදල අඛණ්ඩව ලබාදීමේ හැකියාව ලැබී තිබේ. මහපොළ ජාතික වැඩසටහනක් බවට පත්වූයේ අරමුදල් තරකර ගැනීම සඳහා පවත්වන ලද මහපොළ අධ්‍යාපනික වෙළෙඳ ප්‍රදර්ශනය හේතුවෙනි. ගමට අධ්‍යාපනය, තාක්ෂණය මෙන්ම විනෝදාස්වාදය රැගෙන ගිය මෙම වෙළෙඳ ප්‍රදර්ශනය වෙනස්වන වෙළෙඳපොළ ආර්ථික රටාවට අවැසි භාණ්ඩ හා සේවාවන් ගමට පහසුවෙන් සමීප කරවීම මෙන්ම නව රැකියා අවස්ථා, ව්‍යාවසායකත්වය මෙන්ම ආනයන අපනයන වෙළෙඳාම සඳහා අවස්ථාව සලසන්නක් විය. මේ ජාතික වැඩසටහන පසුගිය දශකයක කාලයක් පුරා ඇනහිටී පැවතුණා. එය නැවතත් ශක්තිමත්ව ස්ථාපිත කොට දැයට දායාද කිරීම අපේ අරමුණයි” යනුවෙන් පසුගියදා කොළඹ ගාලු මුවදොර හෝටලයේ මහපොළ අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය ජාතික වැඩසටහන නැවතත් ආරම්භ කිරීම පිළිබඳ දැනුම්වත් කිරීමේ උත්සවය අමතමින් වෙළෙඳ හා වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ මෙවන් උතුම් කාර්යකට උරදීම සඳහා ලලිත් ඇතුලත්මුදලි මහතා තුළ පෙළඹවීමක් ඇතිවී තිබුණේ එතුමාගේ ජීවන අත්දැකීම් හේතුවෙන් බවයි. අධ්‍යාපනය හිමිවීමෙන් කෙනෙකුගේ ජීවිත තුළ ඇතිවන පරිවර්තනය සමාජයේ ප්‍රගමනයට හේතුවක්. ලලිත් ඇතුලත්මුදලි මහතාට මෙන් අපේ ජීවිත කතාත් උත්සාහයෙන් හා දිරිය පිළිබඳව ආදර්ශ සපයනවා.මම මේ මහපොළ අරමුදල හා කාලයක් සමීපව කටයුතු කළා. රටපුරා සංවිධානය කරන ලද වෙළෙඳ ප්‍රදර්ශන සාර්ථකව සංවිධානය කිරීම සඳහා මගේ සපත්තු දෙක ගෙවෙනතුරු ඇවිද තිබෙනවා. අද වෙළෙඳ අමාත්‍යාංශයේ ඇමැති ලෙස මේ වැඩසටහන නැවත ආරම්භ කිරීමට හැකිවූයේ ඒ අත්කරගත් පරිචය නිසයි.
උත්සව සභාව ඇමතමින් එම අමාත්‍යාංශයේ ලේකම් ඒ. එම්. පී. එම්. අතාවුද මහතා පවසා සිටියේ මෙම ජාතික වැඩසටහන වත්මන් සමාජීය හා ආර්ථික අභියෝග හමුවේ නවමු ආකාරයකට සංවිධානය වන බවත් එය සාර්ථක කර ගැනීමට සැමගේ දායකත්වය අපේක්ෂා කරන බවත්ය. මෙම අවස්ථාවේදී මහපොළ අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය පිළිබඳ ෆේස් බුක් (FB) පිටුව නිල වශයෙන් ආරම්භ කිරීම මෙන්ම මීට අදාළව වෙබ්අඩවිය දොරට වැඩීම ද සිදු විය.
මෙම සුවිශේෂී අවස්ථාව සඳහා සතොස ආයතනයේ සභාපති පසඳ යාපා අබේවර්ධන, එම ආයතනයේ අධ්‍යක්ෂක මෙන්ම සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර ආයතනයේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා මෙන්ම ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති ප්‍රසාද් සමරසිංහ ඇතුළු සම්භාවනීය පිරිසක් ද සහභාගී විය.