මේ වස් කාලය නිමාවන සමය ය. සුගත්හු ජීවමානව වැඩ වසන සමයේ, අම්බපාලි වනයෙන් නික්ම, බේළුව ගමට වැඩ, කැටුව ගිය භික්ෂූනට ආසන්න සෙනසුන්හි වස් එළැඹෙන්නට නියෝග කළහ. තමන් වහන්සේ, බේළුව ගමෙහි වස් එළැඹි සේක. මෙසමෙහි භාග්‍යවතුන් වහන්සේට දරුණු ලෝහිත පක්ඛන්දිකා රෝගයෙක් ඇති විය.
පෙර වෛද්‍යවරයෙකුව සිටිය දී සිටුවරයෙකුට බෙහෙත් කළ නමුත්, නියමිත මුදල් නො ගෙවූ බැවින් පසුව විරේක බෙහෙත් දුන්නේය. ඔහුට ලේත් සමඟ විරේක වූ බැවින් සිටුවරයා බියව නියමිත මුදල් ගෙවීය. ඒ කර්මය විපාක මෙසේ බුදු වූ භවයේද පැමිණ තිබුණි. බෙහෙත් හේත් සහ වෙද හෙදකම් වනාහි සුවපත් සිතින් කරනා සඳ, මහඟු පින්කමක් වන්නේ යම්සේද, ගිලන්වූ සිත් ඇතිව සිදුකරන වෙදකම වනාහි ආත්ම ගණන් පටිසන් දෙන අකුසල බවට පත් වන්නේය.
ලෝහිත පක්ඛන්දිකා රෝගය බුදු වූ භවයේදීත් අත්වන්නට තරමේ කරුමයක් වන්නේ වැරදි සහගත ලෙස දුන් ඔසුවක් නම්, මේ ආකාරයට බෙහෙත් හේත් මඟින් ගසා කන්නාහු විඳවනු ඇත්තේ කවර විපාකයක් දැයි ධර්මානුකූල ලෙස විමසනු අගනේය.
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබින් එන්නත් කුප්පි ආනයනය කිරීමේ සිද්ධියට අදාළව රජයේ නීත්‍යනුකූල ක්‍රමවේදයන්ගෙන් බැහැරව යමින් කටයුතු කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිව යුතු සියල්ලෝ තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය පසුගියදා නියෝග කළාය. ප්‍රශ්නගත එන්නත් නිපද වූ බව කියන සමාගමේ හිමිකරු දැනටමත් ‘කූරු ගණින’ හෙයින් මේ සඳහා ‘පසුබිම් සංගීතය’ සපයන ලද රාජ්‍ය නිලධාරීන් වෙත දැන් මාංචු වැටෙනවා ඇත.
එන්නත් කුප්පි වංචාව අදියර හතරකින් යුක්තය. එහි මූලික චෝදනා වනුයේ, රාජ්‍ය මූල්‍ය පටිපාටිය අහකට විසි කර රුපියල් මිලියන 44කට අධික මුදලක් එන්නත් කුප්පි 900 සඳහා ගෙවා දැමීමය. බඩු බාලවීම අනිත් අවුලය. ‘ප්‍රොබ්ලම් කර්තාහේ’ කළ එන්නත් කුප්පි 3985ක්, ටෙන්ඩරය මඟින් ඉල්ලා තිබීම. ඒ කියන්නේ ප්‍රමිතිය අවුල් සහිත බව දැන දැන ගාණක් සාක්කුවේ දමා ගැනීම උදෙසාම ටෙන්ඩරය ප්ලෑන් කර තිබීමය. හදිස්සි මිල දී ගැනීම් කියන්නේ ගසා කන එකාට ‘හදිස්සියට අසල්වැසියෙක්’ බව මේ කාරණාව සනාථ කරන්නේය. මේ බෙහෙත දෙන්නේ දරුණු ස්නායු ආබාධ සහිත රෝගීන්ටය. ඔය ලෙඩේ හැදුණු තාත්තා කෙනෙක් ගෙදරක ඉන්නවා කියන්නේ පවුල පිටින්ම ‘හාන්සි පයිස්ය ’. එහෙම ගෙදරක රෝගියා සනීප කරගන්න මිසක්, ගහන ඉන්ජෙක්ෂන් එකෙන් ද වැඩේ අල කර ගන්නට මිනිස්සු ඉස්පිරිතාලයට එන්නේ නැත. මේ හොර එන්නත නිසා රෝගීන් සිවුදෙනකු ආසාදිත තත්ත්වයකට ලක්ව ඇතැයි විමර්ශනයේදී හෙළි වූ බව නීතිපතිවරයා අධිකරණය හමුවේ කියා සිටියේය.
සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළේ ඔය ජාතියේ අවුලක් අල්ලා ගැනීම පහසු නැත. හොරු සිටින්නේ දාම ගතව බැවින් එකෙක්වත් අනික් එකාගේ කේස් එකක් යට ගහනවා මිසක, තොරතුරක් තම සෙක්ෂන් එකෙන් දෙන්නේ නැත. වෛද්‍ය විජිත් ගුණසේකරගෙන් ‘එන්නත් කුප්පි කෙළිය’ ගැන වාර්තාවක් ඉල්ලා ඇත්තේ, පාරේ යන එවුන් නොව අධිකරණයයි. ඒ වාර්තාව නොමැති හෙයින් විමර්ශන ප්‍රමාද වී තිබෙන බවට ද මාලිගාකන්ද අධිකරණය හමුවේ කරුණු වාර්තා විය. ඔහොම ප්‍රමාද කරන අය ද කූරු ගණන් කිරීම සඳහා සුදුසු බව මේ තීරුවේ මතයයි.
ජනවාරි මස 04 වැනිදා සප්ලයර් ඉල්ලා ඇත්තේ එන්නත් කුප්පි 7500ක් ගෙන්වීමටය. අනුමැතිය ලැබෙන්නේ කුප්පි 22,500ක් සැපයීමටය. ලියාපදිංචි සහතිකයට තෙවතාවක් ඉල්ලුම් කර, එම සහතිකය නැතිව රජයේ මුදල් රුපියල් මිලියන 44ක් සප්ලයර් වංචා කළේය යන චෝදනාව ඊළඟට එන්නේය.
ඉමියුනොග්ලොබින් වනාහි අපගේ ප්ලාස්මාවේ ඇති ප්‍රතිදේහ ප්‍රෝටීනයකි. ප්‍රතිශක්තිකරණ සඳහා තීරණාත්මක කාර්යභාරයක් එය ඉටු කරන්නේය. බැක්ටීරියා හෝ වයිරස් හඳුනාගෙන ඒවාට බන්ධනය වී විනාශ කිරීමට සහාය වීම නිසා ප්‍රතිශක්තිකරණය අඩු ලෙඩ්ඩු සඳහා මේ ඖෂධය වැදගත්ය.
ලියුකේමියාව රෝගීන්ගේ රුධිරයේ අඩු ඉමියුනොග්ලොබින් මට්ටමක් තිබේ. මේ නිසා රෝගියාගේ ප්‍රතිදේහ සඳහා ඇති ප්‍රතිචාරය අවමය. ස්වභාවිකව මේ ප්‍රෝටීනය එවැනි දේහයන්ගේ නිපදවෙන්නේ නැති හෙයින් ඉමියුනොග්ලොබින් ප්‍රතිකාරය මේ රෝගීන්ට දිය යුත්තේය. ඉමියුනොග්ලොබින් එන්නත සඳහා, ඉන්දියාවෙන් අමුද්‍රව්‍ය ආනයනය කරන බව සප්ලයර් කියා තිබුණත්, එහෙම ගෙන්වීමක් නොකළ බව නීතිපතිවරයා අධිකරණයට අනාවරණය කළේය. එහෙනම් මේ වැඩේට මේකා ‘බඩු’ සොයා ගත්තේ වත්ත පිටියෙන්ද? යන ප්රශ්නය අපට තිබේ.
රුධිර ප්ලාස්මාව මෙහි අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයකි. ජාතික රුධිර බැංකුවෙන් නෛතික ක්‍රමවේදයන්ට පටහැණිව සප්ලයර් රුධිර ප්ලාස්මා ගෙන තිබේ. ටෙන්ඩරයෙන් කෝල් කළ පසුව බ්ලඩ් බෑන්ක් එකෙන්, අවස්ථා 18කදී ප්‍රෝටීන පරීක්ෂා කිරීමට කියා ‘මේ සතා’ රුධිර පට්ටිකා මිලට ගෙන ඇත්තේය. රුධිර බැංකුවේ ඇත්තේ පරිත්‍යාගශීලින්ගේ ලේ මිස මස් කඩෙන් එන ඒවා නොවේ. අපේ ලේ ටිකටත් ගේම දෙනවා කියන්නේ මෙතැන ඇත්තේ ඩ්රැකියුලා ගේමකි.
“සිද්ධියට වගකිව යුතු වන්නේ හදිසි මිල දී ගැනීම් සම්බන්ධයෙන් කැබිනට් එකට ඉදිරිපත් කළ කෙනා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, WOR ලේඛනය සකස් කළ වෛද්‍ය විජිත ගුණසේකර ඇතුළු පිරිසක් යැයි” ප්‍රශ්නගත එන්නත් නිපදවූ බව කියන සමාගමේ හිමිකරු වන ජානක ප්‍රනාන්දු වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස කියා සිටියේය. අද උදෑසන අලුත් ලේකම්වරයෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා පත්වනවා ඇත. වෛද්‍ය පාලිත මහීපාලට ඇත්තේ නව සෞඛ්‍ය ලේකම් ලෙස පරිපාලන කටයුත්තේ යෙදීම පමණක් නොවේ. හේ ඒ සඳහා නම් විචක්ෂණයෙකි. මේ වගේ ඩ්රැකියුලා කේස් ගැන වහ වහා තොරතුරු සපයාදී බෙහෙත් පෙත්තෙන්, එන්නත් කුප්පියෙන් ගසා කෑ උන් ගැන ද පරීක්ෂා කිරීම් සඳහා ඔහුගේ උද්යෝගිමත් සහය මේ තීරුව අපේක්ෂා කරන්නේය.