ශිෂ්‍යත්ව විභාගය කියන්නේ කුඩා කඩඉමක් විතරයි.
ශිෂ්‍යත්වය දරුවන්ගේ විභාගයකට වඩා අම්මලාගේ විභාගයක්.
තරගවලින් අධ්‍යාපනය ගුණාත්මකව වෙනස් කරන්න බැහැ
විවේක සිතක් නැතිව යන්ත්‍ර වැනි දරුවන් බිහි කරන එක නවත්වන්න ඕනෑ
විභාගයෙන් ජයග්‍රාහකයකු වුණත් දරුවා ලෙඩෙක් වුණොත් වැඩක් නෑ.
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පසුගියදා නිකුත් විය. මෙයින් දරුවන් පිරිසක් සමත් වූ අතර තවත් පිරිසක් අසමත් වූහ. ඇත්තෙන්ම ශිෂ්‍යත්ව විභාගය අසමත් වීම යනු ජීවිතයෙන් අසමත් වීමක්ද? ශිෂ්‍යත්ව විභාග තරගකාරීත්වය කුඩා දරුවන්ගේ මනසට බලපෑම් කරන්නේ කෙසේද? යන්න ගැන ප්‍රවීණ දේශකයකු සහ කැලණිය විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ මහතා සමඟ කළ සාකච්ඡාව මෙසේ දක්වමු.
ශිෂ්‍යත්වය අසමත් වීම ජීවිතයම අසමත් වීමක් ලෙසත් ශිෂ්‍යත්වය සමත් වීම ජීවිතයම සමත් වීමක් ලෙසත් සමහරු සිතනවා මේ සිතුවිල්ල නිවැරැදිද?
ශිෂ්‍යත්වය කියන්නේ දරුවකුගේ ජීවිතයේ එක්තරා කඩඉමක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. මුලින්ම ශිෂ්‍යත්ව විභාගය සමත් වූ දරුවන්ට සුබ පැතුම් එක් කළ යුතුයි. ඔවුන් කුඩා දරුවන් විදිහටයි ලොකු දස්කමක් දක්වා තිබෙන්නෙ. ඒ අගය කිරීම අප අනිවාර්යයෙන්ම කළ යුතුයි. එහෙත් ශිෂ්‍යත්ව විභාගය අසමත් වීම කියන්නේ මුළුමනින්ම ජීවිතය කඩා වැටීමක් හෝ ජීවිතයම අසමත් වීමක් නොවෙයි. ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා සාමාන්‍ය පෙළ, උසස් පෙළ සමත් වෙලා ජීවිතය සාර්ථක කර ගත් විශාල පිරිසක් සමාජයේ ඉන්නවා. එක් එක් දරුවන්ට එක් එක් අංශයෙන් එක් එක් මට්ටමෙන් හැකියාවන් වගේම දක්ෂකම්ද තිබෙනවා. සමහර විට විභාග අසමත් වුවත් වෙනත් අංශ ඔස්සේ ඉහළටම ගිහින් ඒ ඒ අංශවල ඉහළ තැන්වලට ගිය පිරිස් ඉන්නවා. ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත්වෙලා හයේ පන්තියේ සිට වැඩ නොකර සිටියොත් මොකක්ද වෙන්නෙ? ප්‍රතිඵලය ඊළඟ විභාග අසමත් වීමයි. ඒ නිසා අපි විභාග සමත්වීම අසමත් වීම මතම ජීවිතය තීරණය කරන්න බැහැ. උපායශීලී විදිහට ජීවිතය පිළිබඳ තීරණ ගත්තොත්, අපට හැකියාව ලැබෙනවා විභාගය වගේම ජීවිතය ද ජය ගැනීමට. ඒ නිසා මම දුවලා පුතාලට විතරක් නොවෙයි, මවුපියන්ටත් කියන්නේ ශිෂ්‍යත්ව විභාගය සමත් අසමත් භාවය පිළිබඳ තීරණය ජීවිතයේ අනාගතයට පූර්ණ විදිහට බලපාන දෙයක් කියලා. ඇත්තෙන්ම අද ශිෂ්‍යත්ව විභාගය දරුවන්ගේ විභාගයකට වඩා අම්මලාගේ විභාගයක් වෙලා. කුඩා මනසක් ඇති දරුවන්ගේ ජීවිතවලට ලොකු පීඩාවක් වෙන්න පුළුවන්. ඒ නිසා කුඩා මනස ගැන අපි අවධානය යොමු කරන්න ඕනැ.
සමහර දරුවන්ට ශිෂ්‍යත්ව විභාගය විශාල පීඩාකාරී අත්දැකීමක් බවට පත්වෙනවා. ඒ නිසා ඔවුනගේ මානසික
සමබරතාවය ගිලිහී යන අවස්ථා ද තිබෙනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද ?
දෙයක් බලෙන් ලබා දෙනවා නම්, කෘත්‍රිම විදිහට සිතට ඇතුළු කිරීමට උත්සාහ කරනවා නම්, එතැනදීම ඒ උත්සාහය අසාර්ථක බවට පත්වෙනවා. ඒ ආකාරයට බලහත්කාරයෙන් තරගකාරිත්වයෙන් කෙනෙකුගේ මනසට දැනුම ඇතුළත් කරන්න උත්සාහ කරනවා නම්, එය කිසිම විදිහකට සාර්ථක දෙයක් වෙන්නේ නෑ. එක් එක් දරුවන්ට ඉගෙනීමේ ක්‍රම තියෙනවා. ඒ ක්‍රමය ඔවුනටම ආවේණිකයි. මගේ ක්‍රමයට නොවෙයි, ඔබ වැඩ කරන්නේ. ඔබට ඔබේම ශෛලියක් තියෙනවා. ඒ ශෛලිය වෙනස් කරන්නට උත්සාහ කරනවා කියන්නේම දරුවා මානසිකව කඩා බිද දැමීමක්. සමහරු වේගවත්ව පාඩම් කරනවා. තව පිරිසක් යමක් ධාරණය කර ගන්නේ සෙමින්.
දරුවන්ට මේ අනවශ්‍ය කලබලය ඇති කරන්නේ මවුපියන්ද?
ඔව්. මේ අනවශ්‍ය කලබලය, තරගය ඇති කර තිබෙන්නේ මවුපියන් විසිනුයි. ජය, පරාජය, අසමත් වීම, සමත් වීම ජීවිතයට පාඩමක් බව දරුවන්ට කියා දෙනවා නම්, ගොඩක් අනවශ්‍ය කරදර නැති කර ගන්න පුළුවන්. මේ තරගය, අනවශ්‍ය කලබලය නිසා දරුවන් මානසිකව රෝගී වන අවස්ථා තිබෙනවා.
ඇතිව තිබෙන තරගකාරී ස්වභාවයත් මෙහි තවත් ප්‍රතිඵලයක් නේද?
ඔව්. අද සෑම තැනකම ලොකු තරගයක් නිර්මාණය වෙලා තිබෙනවා. මවුපියන්, මව්පියන් අතර තරගය, ගුරුවරු ගුරුවරු අතර තරගය, පාසල් පාසල් අතර තරගය, අධ්‍යාපන කොට්ඨාස, කොට්ඨාස අතර තරග, පළාත් පළාත් අතර තරග ලෙසින්. එහෙත්, මේ තරගවලින් අධ්‍යාපනය ගුණාත්මක විදිහට වෙනස් කරන්න බැහැ. ඇත්තෙන්ම උපකාරක පන්ති ගුරුවරු ලොකු තරගයක් ඇති කරනවා. ඇතමුන් මේ තරගයෙන් ජය ගන්නා අය ප්‍රදර්ශනය කරමින් දරුවන්ව තරගයට දමා තමන්ගේ වාණිජ අරමුණු ජය ගැනීමට උත්සාහ කරනවා. මේ නිසා පිරිසක් විභාගය සමත් වෙනවා. එහෙත් අධ්‍යාපනය කියන්නේ විභාගය සමත් වීම පමණක්ම නොවෙයි. ඊට එහා ගිය දෙයක්. දරුවන්ගේ හික්මීම විනය ගොඩනැඟෙන්නේ නිසි විදිහට ඉගෙනීම ලබා දීමෙන්. ඒ සඳහා විද්‍යානුකූල අධ්‍යාපන ක්‍රමයක් තිබෙනවා. ඒත්, මේ තරගකාරි ක්‍රමය තුළ ඒ අරමුණු ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබෙන්නේ නැ.
තරගකාරීත්වය නිසා ඉලක්කම් අනුව විභාග සමතුන් බිහි වෙන්න පුළුවන්. ඒත්, කලාව, පරිසරය දකින, ක්‍රීඩාවේ නියැළෙන සැබෑ දරුවකු ඉන් බිහිවන්නේ නෑ. ඇත්තෙන්ම තරගය මඟින් හොඳ පරපුරක් බිහිවන්නේ නෑ. අධ්‍යාපන මූලධර්ම අනුව ඉගෙනුම ලැබූ දරුවෙකුට පමණයි, සමාජය තුළ වැඩදායී පුරවැසියකු විදිහට ගොඩ නැඟෙන්න හැකියාව ලැබෙන්නෙ. දරුවකු දවසක් සඳහන් කළා මා වෙත මෙහෙම අදහසක් ” මට පරිසරයේ කුරුල්ලකුගේ හඬ, ලේනකුගේ ගමන් විලාසිතාව දැක ගන්න ලැබුණෙ නෑ. ඒත්, විභාගය විතරක් පාස් ” කියලා. මෙහෙම තැන්වල තමයි, මානසික ආතතිය ගොඩ නැඟෙන්නෙ. මේ වගේ දරුවන් විභාගය සමත් වෙලා තීන්දු තීරණ ගන්නා ඉහළ තනතුරු සඳහා පත් වූ පස්සෙ ඒ තැන්වල පවා ආරවුල් සහගත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි තරගයෙන් තොර ප්‍රමිතිය ඇති ඉගෙනුමක්, දරුවන් වෙත අවශ්‍ය බව මා සඳහන් කරන්නේ.
අද තරුණ දරුවන්ගෙන් හික්මීම ගිලිහිලා ගිහින්. ප්‍රචණ්ඩත්වය හා කලබලකාරී ගතිය වැඩි වෙලා. මේ තත්ත්වයට බලපාන ප්‍රධාන හේතු මොනවාද ?
ඉගෙනුම කියන්නේ ගණිතය, භාෂාව, සමාජය, පරිසර සංවේදීකම, ඇතුළු බොහෝ අංගවල එකතුවක් මිසක් විභාගය විතරක් නොවෙයි. මේ අංග පිළිබඳ පූර්ණ අධ්‍යාපනයක් අවශ්‍ය වෙනවා. නමුත්, අද වෙලා තියෙන්නේ ඉගෙනුම ලබන දරුවාට එය ඒ ආකාරයට නොලැබීමයි. දරුවන් යන්ත්‍ර විදිහට සමාජගත වීම තමයි, මෙහි මූලික වරද වෙලා තිබෙන්නෙ. යන්ත්‍රය වැඩ කළත් යන්ත්‍රයට සිතා වැඩ කරන්න පුළුවන් සිතක් නෑ. ඒ නිසා දරුවන්ට අන්‍යයන් ගැන සහකම්පනයක් නැති වෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ ගැටුම්කාරී වැඩිහිටියකු බිහි වීමයි. විවේක සිතක් නැතිව යන්ත්‍ර වැනි දරුවන් බිහි කරන එක අප නවත්වන්න ඕනෑ. වර්තමානයේ අසහනකාරී දරුවකු කියන්නේ අනාගතයේදී බිහිවන්නේ අසහනකාරී වැඩිහිටියෙක්. ඒ තත්ත්වය තුළ සමාජය ප්‍රචණ්ඩ සහ අසහනකාරී තැනක් වෙන්න පුළුවන්. ඒ නිසා යන්ත්‍ර වැනි දරුවන් බිහි කරනවා වෙනුවට කලාව, ක්‍රීඩාව සමඟ ඉගෙනුම ලැබූ පරිපූර්ණ දරුවකු සමාජයට එකතු කරන්න පුළුවන් නම්, ඔබ සඳහන් කළ ප්‍රචණ්ඩත්වය නැති වෙන්න පුළුවන්.
ශිෂ්‍යත්ව විභාගය ඇති කිරීමේ මූලික අරමුණ වුණේ ගමේ පාසල්වල දක්ෂයන්ට ජාතික මට්ටමේ පාසල්වල අවස්ථාව ලබා දීමයි. අද වෙද්දී ඒ අරමුණු ඉටු කර ගැනීමට ඉඩක් ලැබී තිබෙනවාද?
මමත් ගිංතොට ගමේ පාසලක සිට ගාල්ලේ ජාතික පාසලකට ඇතුළත් වුණේ ශිෂ්‍යත්ව විභාගය නිසයි. ඇත්තෙන්ම ශිෂ්‍යත්ව විභාගයේ අරමුණ බවට පත්වෙලා තියෙන්නේ ඒකයි. ග්‍රාමීය සහ ප්‍රාදේශීය වශයෙන් දක්ෂ දරුවන් ඉන්නවා, ඔවුනට විවිධ හේතු නිසා පළමු වසරෙන් ජාතික පාසලකට එන්න බෑ. එහෙම අයට පුළුවන් කුසලතාවය මූලික කරගෙන ශිෂ්‍යත්වයෙන් ඉදිරියට එන්න, අද දක්ෂතා දක්වන බොහෝ පිරිස් ගමේ පාසල්වලින් ජාතික පාසල්වලට ආපු අයයි. මවුපියන්ගේ ආර්ථික ශක්තිය කුමක් වුවත් ශිෂ්‍යත්වයේ සමත්වීම තුළ ඒ අයට හැකියාව ලැබුණා ජාතික පාසලකට එන්න. එදා ශිෂ්‍යත්වය ආරම්භ කිරීමේ මූලිකම අරමුණ බවට පත් වුණේ එයයි. එහෙත් ශිෂ්‍යත්ව විභාගයේ ඒ උතුම් අරමුණු නූතන ක්‍රමය තුළ විකල් වෙලා තිබෙනවා.
අද මහා තරගයක් බවට පත්වෙලා ශිෂ්‍යත්ව විභාගය. මෙතැනදී සමත්වන්නන් ගැන අඩු තක්සේරුවකින් නොවෙයි කතා කරන්නේ. ඒ අය අගය කරන්න ඕනෑ. ඒත්, මේ විකල් ක්‍රමය වෙනුවට ශිෂ්‍යත්ව සැබෑ අරමුණු වෙනුවෙන් වැඩ කරන්න ඕනෑ. විභාග තරගයෙන් ජයග්‍රාහකයකු වුණත් ඒ දරුවා ලෙඩෙක් වුණොත් වැඩක් නෑ. අපට අවශ්‍ය වන්නේ පූර්ණ දරුවන් පිරිසක් බිහි කිරීමයි. ඒ වගේම අසමත් දරුවන් අසාර්ථක පිරිසක් කියලා පැත්තකින් තියෙනවා වෙනුවට ඔවුන්වත් ආදරයෙන් රැක ගන්න ඕනෑ. ශිෂ්‍යත්ව විභාගය කියන්නේ එක් කුඩා කඩඉමක් විතරයි. ඒ නිසා ජීවිතය සාර්ථක වීමට කළ යුතු තවත් බොහෝ දේවල් තිබෙනවා. ඒ සඳහා වැඩිහිටියන්, ගුරුවරු විදිහට අපටත් ලොකු වගකීමක් තිබෙනවා. ශිෂ්‍යත්ව අරමුණු රැක ගනිමින් දරුවන්ගේ ළමා කාලය විනාශ නොකරමින් කටයුතු කිරීම කළ යුතුයි.
ශිෂ්‍යත්ව විභාගය අවලංගු කළ යුතු බවට කාලයෙන් කාලයට අදහස් මතුව එනවා. මේ අදහස ගැන ඔබේ මතය පැහැදිලි කරන්න?
ශිෂ්‍යත්ව විභාගය කිසිසේත්ම අහෝසි නොකළ යුතුයි කියන අදහසෙයි මම ඉන්නේ. ඕනෑම දෙයක් දීර්ඝ කාලයක් පවත්වාගෙන යද්දී අඩු පාඩු ඇති වෙනවා. විභාගයක් විතරක් නොවෙයි. ඕනෑම දෙයක් එහෙමයි. ඒ නිසා ඕනෑම දෙයක් නිසි විදිහට නියාමනය කිරීමට පුළුවන් නම්, එහි අඩුපාඩු අසාර්ථක තැන් හඳුනා ගැනීමට වගේම ඒ අඩුපාඩු නිවැරැදි කර ගැනීමටත් හැකියාව ලැබෙනවා. මූලික ලෙස අනවශ්‍ය තරග නැති කළ යුතුයි. අවලංගු කිරීම නොවෙයි වෙන්න ඕනෑ අඩු පාඩු හඳුනාගෙන ඒවා නිවැරැදි කිරීමයි. ශිෂ්‍යත්ව විභාගය අවලංගු කළොත්, ලොකු අපරාධයක් වෙනවා. ඒ, ගමේ දක්ෂ දරුවන්ට ජාතික තලයට යාමට තිබෙන එකම මාර්ගය ශිෂ්‍යත්ව විභාගයයි. ශිෂ්‍යත්ව විභාගය අවලංගු කළොත්, එය ඇහිරී යනවා.
උදිත ගුණවර්ධන