Home » අස්වැන්න පස් ගුණයකින් නැංවීමට තේ වගාවට නව තාක්ෂණය දෙන්න ඇමැති මහින්දගෙන් නිලධාරීන්ට උපදෙස්

අස්වැන්න පස් ගුණයකින් නැංවීමට තේ වගාවට නව තාක්ෂණය දෙන්න ඇමැති මහින්දගෙන් නිලධාරීන්ට උපදෙස්

by sachintha
November 20, 2023 12:46 am 0 comment

මෙරට තේ වගාවෙන් ලැබෙන අස්වැන්න පස්ගුණයකින් ඉහළ නැංවීම සඳහා අධි ගණත්ව වගා ක්‍රමය හා නව තාක්ෂණය, තේ වගාව තුළත් ප්‍රචලිත කිරීමට කටයුතු කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා කුඩා තේවතු සංවර්ධන අධිකාරියට හා තේ සංවර්ධන මණ්ඩලයට උපදෙස් දී ඇත. කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ මාර්ගෝපදේශකත්වය හා මූල්‍ය ප්‍රතිපාදන යටතේ අධිගණත්ව වගා ක්‍රමය මෙන්ම විසිරි ජල බින්දු තාක්ෂණය යොදාගනිමින් වගා කර ඇති අක්කර හතහමාරකින් සමන්විත වැලිපැන්න පේරගස්වත්ත අධි ගණත්ව තේ වගාව පසුගියදා (16) නිරීක්ෂණය කළ අවස්ථාවේ ඇමැතිවරයා මේ උපදෙස් දී තිබේ.
සාමාන්‍ය තේ වගා ක්‍රමය අනුව අක්කරයක තේ පැළ 6,500ක් රෝපණය කළද මේ අධිගණත්ව වගා ක්‍රමය යටතේ තේ පැළ 13,000ක් රෝපණය කළ හැකිය. එමෙන්ම සාම්ප්‍රදායික ක්‍රමය අනුව අක්කරයකින් එක්වර නෙළාගත හැක්කේ තේ දලු කි.ග්‍රෑ. 300ක් වුවද, මේ ක්‍රමය යටතේ තේ දලු කි.ග්‍රෑ. 1,500ක ඉහළ අස්වැන්නක් නෙළාගැනීමට හැකි වේ. එමෙන්ම තේ දලු නෙළීම සඳහා නව තාක්ෂණික උපකරණද පහසුවෙන් යොදාගැනීමට හැකි වන නිසා මිනිස් ශ්‍රමය වැඩිපුර අවශ්‍ය නොවේ. මේ නිසා ආදායම පස් ගුණයකින් පමණ ඉහළ නංවාගැනීමට එම වගාකරුවන්ට හැකි වන අතර, අවම ජල ප්‍රමාණයක් හා අවම පොහොර ප්‍රමාණයක් මඟින් මේ අධිගණත්ව තේ වගාව සිදු කළ හැකි වීමද විශේෂත්වයකි. කුඩා තේවතු සංවර්ධන අධිකාරිය හා තේ සංවර්ධන මණ්ඩලය විසින් දැනට මෙවැනි ආදර්ශ තේ වගා ව්‍යාපෘති 52ක් ක්‍රියාත්මක කර තිබේ. එමෙන්ම එම වගාකරුවන්ට අක්කරයක‌ට රු. ලක්ෂ 10ක් බැගින් නැවත අය කර නොගන්නා මූල්‍යාධාර පිරිනමා තිබේ.
අවම ඉඩම් ප්‍රමාණයකින් වැඩිම අස්වැන්නක් ගත හැකි මෙන්ම ගුණාත්මක භාවයෙන් ඉහළ තේ අස්වැන්නක්ද අධිගණත්ව වගා ක්‍රමය යටතේ නෙළාගැනීමට හැකි වේ. එමනිසා මේ අධිගණත්ව තේ වගා ක්‍රමය අනෙකුත් වගාකරුවන්ටත් හඳුන්වා දීමට ඔවුන් දිරි ගන්වන ලෙසත්, 2024දී මේ කටයුතු පුළුල් කිරීමට පියවර ගන්නා ලෙසත් ඇමැතිවරයා කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ හා තේ සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරුන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළ පරිදි 2024 වර්ෂය තුළ නව තාක්ෂණය කෘෂි හා වැවිලි ක්ෂේත්‍රයට එක් කිරීම තම අරමුණ බවත් වගාබිම්වලින් උපරිම අස්වැන්නක් නෙළාගැනීමට කටයුතු කිරීමට සියලු නිලධාරින් කැප වී කටයුතු කළ යුතු බවත් ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.
බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT