Saturday, May 10, 2025
Home » රටේ දියුණව පතනවා නම් වෙනස මගෙන්ම පටන් ගනිමු – ඇමැති මනූෂ නානායක්කාර

රටේ දියුණව පතනවා නම් වෙනස මගෙන්ම පටන් ගනිමු – ඇමැති මනූෂ නානායක්කාර

by sachintha
November 20, 2023 1:00 am 0 comment

රටේ දියුණව පතනවා නම්

වෙනස මගෙන්ම පටන් ගනිමු

ඇමැති මනූෂ නානායක්කාර

ශ්‍රී ලාංකික ජාතියක් ලෙස, මනුෂ්‍යයන් ලෙස අප සියලු දෙනා එකට එක් විය යුතු කාලයක් පැමිණ තිබෙන බවත්, රටේ දියුණුව හා ජාතික සමඟිය යම් අයකු බලාපොරොත්තු වන්නේ නම් එකිනෙකාට චෝදනා කරමින් නොසිට එය තමාගෙන්ම පටන් ගත යුතු බවත් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා පැවසීය. ගාල්ල, මාගාල්ල පුරාණ හජ්ජිවත්ත ඉස්ලාම් දේවස්ථානය පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් ලෙස නම් කිරීමේ සමාරම්භක උත්සවයට එක් වෙමින් ඇමැතිවරයා ඊයේ (19) මේ බව කීවේය. මේ ඓතිහාසික ඉස්ලාම් දේවස්ථානය පෞරාණික උරුමයක් ලෙස නම් කරමින් ඒ සදහා අවශ්‍ය පුරාවිද්‍යාත්මක ගවේෂණ කටයුතු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමේ සමාරම්භය සලකුණු කරමින් අමාත්‍යවරයා දේවස්ථානයේ ඉතිහාසය සදහන් පුවරුවක්ද විවෘත කළේය. අදාළ පුරාවිද්‍යාත්මක ගවේෂණ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසද අමාත්‍යවරයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මෙහිදී ඉල්ලා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා:

“පහුගිය කාලයේ දේශපාලනික වශයෙන්, සමාජීය වශයෙන් වගේම ආගමික හා සංස්කෘතික වශයෙන් පවා මිනිස්සු වෙනසක් හෙව්වා. විවිධ අය විවිධ සම්ප්‍රදායන් ආගම් ඇතුළට අරගෙන ඇවිත් ඒ වෙනස හොයන්න සමහරු උත්සාහ ගත්තා. සමහරු නව සංස්කෘති ප්‍රවණතා ඇතුළේ ඒ වෙනස කරන්න උත්සාහ ගත්තා. ඒ අතරේ මිනිස්සු විදියට පාරට බැහැලා, ඡන්දෙ දීලා, අරගල කරලා ඒ වෙනස කරන්න උත්සාහ ගන්නවා අපි දැක්කා.

“හැබැයි හැමදාම අපි කළේ උත්සාහ කිරීම හා කට වචනයෙන් වෙනසක් සෙවීම පමණයි. හැම වෙනසක් සදහාම ක්‍රියාමාර්ගයක් අවශ්‍යයි. සරලව කල්පනා කරලා බලන්න, ශරීරයේ උවත් වෙනසක් කරන්න නම් ඉරියව්වක් වෙනස් කරන්න වෙනවා. ඒ වෙනස මගෙන් පටන් ගමු කියලා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ඒ සංකල්පය අපි ආරම්භ කළා. ක්‍රම වෙනසක් සදහා අපි අපිම වෙනස් වෙන්න ඕන.

“සියලු දෙනාගෙන් මේ ඓතිහාසික අවස්ථාවේ මම ඉල්ලීමක් කරන්න කැමැතියි. මම මගෙන් පටන් ගත්තා. ඔබ ඔබෙන් පටන් ගන්න. ජාතික සමගිය නම් ඔබ අපේක්ෂා කරන්නේ, ඒක ඔබෙන් පටන් ගන්න. ඔබ අපේක්ෂා කරන්නේ දියුණු රටක් නම් ඔබ ඒක ඔබෙන් පටන් ගන්න. මම මගෙන් පටන් ගන්වා නම් කිසිම දවසක තවත් අයෙක්ට චෝදනා කරමින් සිටීමට අවශ්‍ය වෙන එකක් නැහැ. චෝදනා කරමින් සිටිමින් වැඩක් නෑ. අපි එකට එකතු වෙලා ශ්‍රී ලාංකික ජාතියක් විදියට, මනුස්සයන් විදියට එකට එකතු වෙන්න ඕන කාලයක් තමයි දැන් ඇවිත් තියෙන්නේ.”

අෂ් ශේක් අම්හර් හකම් දීන් මවුලවිතුමන් ඇතුළු පිරිසක්ද මෙහිදී අදහස් දැක්වූහ.

සුභාෂිණි සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT