Tuesday, December 5, 2023
Home » දරුවන් අසනීප බව කියා මවුපියන්ගෙන් සල්ලි ගැරූ ගිරාඳුරුකෝට්ටේ දෙදෙනා රිමාන්ඩ්

දරුවන් අසනීප බව කියා මවුපියන්ගෙන් සල්ලි ගැරූ ගිරාඳුරුකෝට්ටේ දෙදෙනා රිමාන්ඩ්

-සැකකරුගේ ගොතයෙන් වැඩේ පත්තු වෙයි

by sachintha
November 20, 2023 1:23 am 0 comment

ගුරුවරයෙක් ලෙස පෙනී සිටිමින් පාසල් දරුවන් සිටින තෝරා ගත් නිවාසවලට දුරකතන ඇමතුම් දෙමින් දරුවා අසනීප වී පුද්ගලික රෝහලකට ඇතුළත් කළ බව මාපියන්ට පවසා දරුවාගේ ජීවිතය බේරා ගැනීමට හදිසි ශල්‍යකර්මක් කළ යුතු බවත් ඉක්මනින්ම ඒ සඳහා මුදල් බැංකු ගත කරන ලෙස බිය ගන්වමින් මුදල් වංචා කළ කල්ලියක ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ගිරාඳුරුකෝට්ටේ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවටගත් සැකකරුවන් අතර ගිරාඳුරුකෝට්ටේ මිල්ලත්තෑව මෙත්මල්ගම පදිංචි ගුවන් හමුදාවේ වැඩ අංශයේ සේවයේ නිරතව සිටි ගුවන් හමුදාවෙන් පලාවිත් සිටින සෙබළෙක්ද සිටින බව පොලිසිය කියයි. ඔහු අවුරුදු 25ක් වයසැති අයෙකි. සෙසු සැකකරු වන්නේ ගිරාඳුරුකෝට්ටේ, හොබරියාව, ජයන්තිපුර පදිංචිකරුවෙකි. මෙම සැකකරු අවුරුදු 37ක් වයසැති අයෙකි.

මවුපියන් රවටා මුදල් ගරා ගන්නා මෙම කල්ලියට සම්බන්ධ සැකකරුවෙක් මෙයට පෙර පමුණුගම පොලිසියේ නිලධාරීන් ද අත්අඩංගුවට ගෙන තිබුණි. එම පුද්ගලයා ද ගිරාඳුරුකෝට්ටේ පදිංචිකරුවෙකි. මවුපියන් බිය ගන්වා ලබා ගන්නා මුදල් එම පුද්ගලයාගේ ගිණුමට බැරකර ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

ගම්පහ, ජා-ඇල, කඳාන, පමුණුගම, වීරඟුල, පූගොඩ හා පේරාදෙණිය යන පොලිස් වසම්වල පදිංචි පාසල් දරුවන්ගේ මවුපියන්ට දුරකතන ඇමතුම් දෙමින් මෙම ජාවාරම්කරුවන් විසින් රුපියල් ලක්ෂ 25කට අධික මුදලක් සිය බැංකු ගිණුම්වලට බැර කරගෙන ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

මෙසේ මෙම සැකකරුවන් මුදල් බැරකර ගන්නේ ගිරාඳුරුකෝට්ටේ පිහිටි බැංකුවක ගිණුමකට බව රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති විකාශයකදී දින කිහිපයකට පෙර සඳහන් වී තිබුණි. ඒ සම්බන්ධයෙන් ගිරාඳුරුකෝට්ටේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුදේශ් චතුරංග මහතාගේ විශේෂ අවධානයක් යොමුවී ඇත්තේ එම දුරකතන ඇමතුම් දෙන පුද්ගලයා ගොත ගසමින් එම ඇමතුම දෙන අයුරු රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය මඟින් විකාශය කළ හඬ පටයෙන් ඇසීමෙනි.

ගිරාඳුරුකෝට්ටේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ අවධානයට යොමුවී ඇත්තේ වසර එකහමාරකට පෙර මිනුවන්ගොඩ පදිංචි විශ්වවිද්‍යාල සිසුවෙකුගේ දෙමාපියන් බිය ගන්වා රුපියල් 50,000ක මුදලක් ඉල්ලා සිටීමකට ගිරාඳුරුකෝට්ටේ පදිංචි පුද්ගලයෙක් හසුවී තිබීම හේතුවෙනි. එම පුද්ගලයා ගොත ගසමින් කතා කළ අයෙක් වූ බැවින් පොලිස් ස්ථානාධිපතිවරයා බුද්ධි අංශ නිලධාරීන් යොදා එම පුද්ගලයා ගැන තොරතුරු සොයා බැලීමට පියවර ගෙන ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ එම ප්‍රවෘත්තිය විකාශය වීමත් සමඟ අදාළ පුද්ගලයා නිවසින් අතුරුදන්ව සිටින බවය.

ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා එම පුද්ගලයා සම්බන්ධයෙන් අවධානයෙන් සිට පසුගිය 17 වෙනිදා සවස ගිරාඳුරුකෝට්ටේ ජයන්තිපුර පදිංචි පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත ගුවන් හමුදාවෙන් පළාවිත් සිටින සෙබළාව අත්අඩංගුවට ගෙන තිබේ.

මවුපියන් බිය ගන්වා මුදල් බැර කරගෙන ඇත්තේ බැංකු දෙකක ගිණුම් දෙකකටය. රුපියල් ලක්ෂ 25කට වැඩි ප්‍රමාණයක් එම බැංකු ගිණුම් දෙකට බැරවී ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

අත්අඩංගුවටගත් ප්‍රධාන සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ ස්ථාවර දුරකතනවලට අහඹු ලෙස ඇමතුම් ලබා ගන්නා බවය. එහිදී එම නිවැසියන් සමඟ සමීක්ෂණයක් සඳහා තොරතුරු ලබා ගන්නා ආකාරයට පවුලේ තොරතුරු ලබා ගන්නා බව ද ඔහු පොලිසියට පවසා ඇත. දරුවා පාසලේදී රෝගී වී රෝහල් ගතකළ බව සඳහන් කරමින් ඔහු දෙමාපියන්ට ඇමතුම් ලබා දෙන්නේ එම තොරතුරු මඟින් බව ද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනාව මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණයට පෙරේදා (18) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරමින් ඔවුන්ව වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගකර තිබේ.

ගයාන් කුමාර වීරසිංහ, බදුල්ල-නිශාන්ත අබේගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT