Home » පැති කණ්ණාඩි සොරකම අල්ලන්න ගිය PCගේ අත කැපූ ‘කුඩ්ඩා’ මාට්ටු

පැති කණ්ණාඩි සොරකම අල්ලන්න ගිය PCගේ අත කැපූ ‘කුඩ්ඩා’ මාට්ටු

by sachintha
November 20, 2023 12:41 am 0 comment

වාහනයක පැති කණ්ණාඩියක් ගලවා සොරාගෙන යාමක් වැළැක්වීමට ගිය බම්බලපිටිය, ද ෆොන්සේකා මාවතේ පිහිටි අලුත්කඩේ අංක 06 මහේස්ත්‍රාත් නිල නිවසේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ අත පිහියකින් කපා පලා ගිය සැකකරු එම සිදුවීමෙන් මාස 02කට පසු අත්අඩංගුවට ගැනීමට බම්බලපිටිය පොලිසිය සමත්ව ඇත.
විනිසුරු නිවසේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියාගේ අත කැපූ සිදුවීම වී තිබුණේ පසුගිය සැත්තැම්බර් 17 වෙනිදා අලුයම් කාලයේදීය. මහේස්ත්‍රාත් නිල නිවස ඉදිරිපිට පදිංචිකරුවන්ගේ සුඛෝපභෝගී ජීප් රථය නතර කරනු ලබන්නේ විනිසුරු නිල නිවස ඉදිරිපිට මාර්ගයේය. විනිසුරු නිවසේ ආරක්ෂාවට යොදවා සිටි බම්බලපිටිය පොලිසියේ කොස්තාපල්වරයා එදින අලුයම් කාලයේදී මාර්ගය දෙසින් ඇසුණු අමුතු ශබ්දයක් හේතුවෙන් ඒ ගැන විමසිලිමත් වී තිබේ. එහිදී එම නිලධාරියා දැක ඇත්තේ මාර්ගයේ නතර කර ඇති ජීප් රථයේ පැති කණ්ණාඩි යතුරු පැදියකින් පැමිණි දෙදෙනක් විසින් ගලවමින් සිටින ආකාරයයි.
අපරාධයක් දැක එය බලා සිටීමට නොහැකි වූ තැන අපරාධකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට මෙම කොස්තාපල්වරයා ඒ අසලට යන විට එකවරම ඒ එක් අයෙක් පිහියක් අතට ගෙන නිලධාරියාගේ දකුණු අත කපා පලා ගොස් තිබුණි.
මේ අතර පසුගිය 17 වෙනිදා රාත්‍රී කාලයේදී බම්බලපිටිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මුහුදු වෙරළ පාර පොලිස් පරීක්ෂක භෝජනාගාරය අසල මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටියදී සැකකටයුතු යතුරුපැදියක් නවතා පරීක්ෂා කර ඇත. එම යතුරුපැදියේ දෙදෙනෙක් ගමන් කරමින් සිට ඇත.
ඒ එක් පුද්ගලයෙක් වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙකි. 39 හැවිරිදි සෙයියත් ෆාතික් නමැති ඔහු කොළඹ 10 මාලිගාවත්ත ජුම්මා මස්ජිත් පාරේ පදිංචිකරුවෙක් බව හඳුනාගෙන තිබේ. දෙවැන්නා මොහොමඩ් අසාත් නැමැති 41 හැවිරිදි වියේ පසුවන්නෙකි. වෘත්තියෙන් ඇලුමිනියම් කාර්මිකයෙක් වන ඔහු කොළඹ 12 කෙසෙල්වත්ත සාංචි ආරච්චිවත්තේ පදිංචිකරුවෙකි.
පරීක්ෂා කිරීමේදී ඡායාරූප ශිල්පියා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 265ක් හා ඇලුමිනියම් කාර්මිකයා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 310ක් හමුවූ බව බම්බලපිටිය පොලිසිය කියයි.
මෙම පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වීමේදී අනාවරණය වී ඇත්තේ විනිසුරු නිවසේ ආරක්ෂක පොලිස් නිලධාරියාගේ අත කපා පලා ගිය සැකකරුද මේ අතර සිටින බවය.
ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT