Home » සියලු දෙනා එකට එකතු වී ජනතාවගේ ජීවන බර අඩු කරමු -හිටපු ඇමැති රවී කරුණානායක

සියලු දෙනා එකට එකතු වී ජනතාවගේ ජීවන බර අඩු කරමු -හිටපු ඇමැති රවී කරුණානායක

by sachintha
November 20, 2023 12:48 am 0 comment

අඳුරට බැණ නොවැදී සියලු දෙනා එකට එකතු වී ආලෝකය දල්වා රට යළි ගොඩනඟා ජනතාවගේ ජීවන බර අඩු කළ යුතු යැයි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. ඔහු මේ බව කියා සිටියේ, කොළඹ, වැල්ලම්පිටිය වේරගොඩ විද්‍යාලයේ සිසුවියක මියයෑම පිළිබඳ සොයා බැලීමට එම විදුහලේ නිරීක්ෂණ චාරිකාවකට පසුගියදා එක් වූ අවස්ථාවේ ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

පාසලේ ප්‍රමිතියකින් තොරව ඉදි කර තිබෙන සියලු ඉදිකිරීම් ප්‍රමිතියකින් යුක්තව ඉදිකිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස එම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව රවී කරුණානායක මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. මීට අමතරව පාසලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද මෙහිදී පියවර ගැනිණි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මහතා මෙසේද කීය:

“මේ රටට අමාරු කාලයක්. මීට මාස 17කට කලින් මේ රටේ ආර්ථිකය කඩාවැටී ජනතාව අන්ත අසරණ වී පෝලිම් යුගයක සිටියා. තෙල්, ගෑස්, විදුලිය සහ පොහොර කිසිවක් තිබුණේ නැහැ.

එදා සිට මේ දක්වා වූ කාලය ඇතුළත රට යථා තත්ත්වයට පත්ව තිබෙන බව අප කවුරුත් පිළිගත යුතුයි. එහෙත් ජන ජීවිතය තවමත් අමාරුයි.

“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අයවැය ඉදිරිපත් කළේ ඉතා අමාරු කාලයක අමාරු තත්ත්වයක බව කවුරුත් පිළිගත යුතුයි. මේ අයවැයෙන් රට නිවැරදි මාර්ගයට යොමු කර තිබෙනවා. එනිසා අඳුරට හෙණ ගහපන් කිය කියා ඉල්ලන්නේ නැතිව, අප සියලු දෙන එකට එකතු වී ආලෝකය දැල්විය යුතුයි.”
ශිරෝමි අබයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT