Home » මල්ලාවි පෙරියමඩුවැවේ වසර 2000ක් පැරණි වාරි පද්ධතිය වනසලා

මල්ලාවි පෙරියමඩුවැවේ වසර 2000ක් පැරණි වාරි පද්ධතිය වනසලා

by sachintha
November 20, 2023 1:01 am 0 comment

මුලතිව් මල්ලාවි පෙරියමඩු වැව ආශ්‍රිතව පිහිටා තිබූ වසර 2000කට වඩා ඉපැරණි වාරි පද්ධතියක් කිසියම් පිරිසක් විසින් විනාශ කොට දමා තිබේ. මුලින්ම මෙම වාරි පද්ධතිය කඩා බිඳ දමා වළවල් හාරා ඇත්තේ ඉතා පිළිවෙළකට අසුරා තිබූ ගල් තට්ටුවලට යටින් නිදන් වස්තු ඇති බවට සැක කළ නිදන් හොරු පිරිසක් විසින් බව පුරාවිද්‍යා නිලධාරීන් සඳහන් කරයි.

පසුව එම ස්ථානයේ කෝවිලක් ඉදිකිරීම සඳහා ගල් පේළි ඉවත්කොට මූලික පදනමක් යොදා ඇති ආකාරය එහි ගිය පුරාවිද්‍යා නිලධාරීන්ට දැක ගැනීමට හැකි වී තිබේ. මේ අතර තවත් කිසියම් පිරිසක් විසින් ඔවුන්ගේ කලුගල් අවශ්‍යතාවයන් සඳහා ද වාරි පද්ධතියේ අසුරා තිබූ කලුගල් රැගෙන ගොස් තිබේ. මහා යුද සමයේද මේ ස්ථානය කිසිදු විනාශයකට ලක්ව නොතිබූ බවත් මේ ස්ථානයට පෙරියමඩු ප්‍රදේශයේ වැසියන් ඉතා ආදරය කළ බවත් එම ගම්මානයේ වැසියෝ පුරාවිද්‍යා නිලධාරීන්ට ප්‍රකාශ කොට ඇත.

මෙම ගල් පේළි ඇතිරූ ස්ථානය කෙළවරේ හින්දු කෝවිලක් ඇති බවත් ඊට වන්දනාමාන කිරීමට ගම්මානයේ හින්දු බැතිමතුන් පුරුදුව සිටියේ මීට වසර 100 කටත් වඩා ඈත කාලයක සිට බවද ඔවුන් වැඩිදුරටත් පවසා ඇත.

පුරාවිද්‍යා නිලධාරීන් පිරිසක් එම ස්ථානය නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේදී මෙම මහා විනාශය දැක ඇති අතර ඔවුන් සඳහන් කරන්නේ මේ ක්‍රියාවට විශාල පිරිසක් හවුල් බවට සාධක ඇති බවයි.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT