Sunday, May 11, 2025
Home » මවුපියන් සමඟ විනෝද චාරිකාවේ ගිය හය හැවිරිදි සිඟිත්තිය සංචාරක හෝටලයේ දිය තටාකයට බිලි

මවුපියන් සමඟ විනෝද චාරිකාවේ ගිය හය හැවිරිදි සිඟිත්තිය සංචාරක හෝටලයේ දිය තටාකයට බිලි

by sachintha
November 20, 2023 1:01 am 0 comment

“මගේ රත්රන් නැතුව මාත්, අම්මාත්, අක්කත් දැන් කොහොමද ඉන්නේ.. දෙවියනි, ඇයි අපට මෙහෙම වෙන්නේ? අනේ දෙයියනේ ඇත්තෙන්ම මේක මට තාමත් සිහිනයක්. අපට කොයි තරම් මිල මුදල් වත්පොහොසත්කම් තිබුණත් දෛවයට මේ කිසි දෙයක් නවත්වන්න බැරි වුණා. හැමෝගෙම ආරක්ෂාව මැද අපි ඉස්සරහ හිටිය දුව කොහොමද පූල් එකට වැටු‍ණේ කියලා තාම කාටවත් හිතාගන්නත් බෑ. ඒක දන්නේ උඩ ඉන්න දෙයියො විතරයි..

තම ආදරණීය බාල දියණියගේ හදිසි වියෝවෙන් දැඩි ලෙස කම්පනයට සහ ශෝකයට පත්ව සිටින පුබුදු මධුසංඛ ගනේපොල මහතාගේ එම වදන් හැමදෙනාගේම දෙනෙතට කඳුළු එක් කරන දර්ශනයකි.

තම පවුලේ හිතවතුන් පිරිසක් සමඟ නිවාඩුවක් ගත කිරීමට කළුතර දිස්ත්‍රික්කයේ සුන්දර බදුරලිය ඉලුක්පොත ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකට පැමිණි අවස්ථාවේ දී එම දිය තටාකෙ දිය නාමින් සිටි අවස්ථාවේ දියේ ගිලී මිය ගිය තම ආදරණීය සිඟිති දියණියගේ වියෝව දරාගත නොහැකිව එම ආදරණීය මව්පියෝ දැඩි ලෙස ශෝකාකූල ව සිටිති. ගම්පහ වැලිවේරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇඹරළුව ග්‍රාම නිලධාරී වසමේ පදිංචි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවය කරන පුබුදු මධුසංඛ ගනේපොල සහ සහ පෞද්ගලික සරසවියක සේවයේ නියුතු ඉමන්ති නදීෂානි දරුවන් දෙදෙනෙකුගේ මව්පිය යුවළකි. අට හැවිරිදි ඔවුන්ගේ වැඩිමල් දියණිය පෞද්ගලික පාසලක තුන්වන ශ්‍රේණිය ඉගෙනුම ලැබුවාය. ඔවුන්ගේ බාල දියණිය වූ 6 හැවිරිදි ඔනේෂි ගනේපොල දියණිය තවමත් එක වසරේය.

දැඩි ලෙස ශෝකයෙන් මුසපත් ව සිටින පුබුදු මධුසංක පියා මෙසේ පැවසීය. “පසුගිය සිකුරාදා උදෑසන නවයට විතර වැලිවේරියේ සිට සිට වාහන තුනකින් තමයි අපි කළුතර බදුරලිය හෝටලයට ආවේ. එනවිට 10 පහු වෙලා තිබුණා.

අපි සිකුරාදා ඇවිත් රෑ නැවතිලා සෙනසුරාද හවස යන්න තමයි හෝටලය වෙන් කර තිබුණෙ. ඇවිත් ටික වෙලාවකින් දරුවන් සෙල්ලම් කරන්න පටන් ගත්තා. දරුවො පස් දෙනෙක් හිටිය. මේ අය සෙල්ලම් කරමින් ඊට පස්සේ හෝටලයේ දිය තටාකයට බැහැලා නාන්න තමයි ආස කළේ.

කුඩා දරුවන් පස්දෙනා පිහිනුම් තටාකයේ දරුවන් සඳහා වෙන් කර ඇති නොගැඹුරු ප්‍රදේශයට තමයි අපි දැම්මේ.

දරුවන්ව පූල් එකට බස්සලා අපි ඇහැ ගහගෙනම සිටියා . අම්මලා තුන්දෙනෙකු සිටියා තාත්තලත් සිටියා. එතන කිසිම අනාරක්ෂිත බවක් තිබුණෙත් නැහැ. අපි දරුවෝ දිහා බලාගෙනමයි සිටියා. මෙහෙම නාන කොට තමයි මම දැක්කේ දරුවන් පස් දෙනාගෙන් එක දරුවෙකු අඩු බව .මම ඉතා ඉක්මනින් කෑගහලා හොයන්න පටන් ගත්තා. ඒ හොයනකොට තමයි දැක්කෙ මගේ පුංචි දියණිය ජල තටාක පතුලේ ඉන්නවා.

මම ඉක්මනින්ම දියට ගිහිල්ලා දරුවා ගොඩට ගත්තා.අපිත් එක්ක චාරිකාව සඳහා වෛද්‍ය යුවළක් එක්ව සිටිය නිසා එයාලාඉතා ඉක්මනින් දරුවාට ප්‍රථමාධාර ලබා දුන්නා. ඒ එක්කම අපි.

විසින් ඉතාම ඉක්මනින් ආසන්නයේ තිබුණු බදුරලිය රෝහලට දරුවා ගෙන ගියත් බදුරලිය රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය එක්ක වහා මූලික ප්‍රතිකාර කළත් තත්ත්වය බරපතළ දැන කළුතර නාගොඩ රෝහලට යොමු කරන්ට තීරණය කළා. යැයි පැවසීය. අනතුරුව සිඟිති දියණිය බදුරලිය රෝහලේ ගිලන් රථයෙන් නාගොඩ මහ රෝහල වෙත ඉතාම කඩිනමින් යොමු කෙරුණි.

එහෙත් ජීවිතයත් මරණයත් අතර සිටි පුංචි ඔනේෂි නාගොඩ රෝහලට ඇතුළත් කර ටික වේලාවකින් මෙලොවින් සමුගෙන ගියාය. මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය එස්. එස්. අත්තනායක මහතා විසින් පවත්වනු ලැබූ අතර ඉදිරිපත් වූ සාක්ෂි සහ සාධක මත දියේ ගිලීමෙන් සිදු හදිසි මරණයක් බවට නාගොඩ මහරෝහලේ හදිසි මරණ පරීක්ෂක එඩ්. ඒ. කුමසාරු මහතා නිගමනය කෙළේය.

 

අඟුරුවාතොට සමූහ මංගල ප්‍රසන්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT