ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, සහකාර අධ්‍යක්ෂ දේවශාන්ත සොලමන්, ගණකාධිකාරි (සැපයුම්) මිරාන් ධනංජය සහ තොග පාලක සුජිත් වසන්ත කුමාර යන නිලධාරීන් සිවුදෙනා ලබන 29 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය ඊයේ (20) නියෝග කළාය. එමෙන්ම දෙවැනි සැකකාර වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල වික්‍රමනායක යන අයගේ කාර්යාලයේ ඇති ලිපි ගොනු අද (21) පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරිය එම කාර්යාලය පරීක්ෂා කරන තෙක් ඉබි යතුරු දමා වසා තබන ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළාය.
සැකකරුවන් සිව්දෙනා රජයේ සේවකයන් ලෙස වෛද්‍ය සැපයීම් අංශයේ සේවය කරන බැවින් සහ අදාළ ගනුදෙනුවේ පළමු සැකකරු ඉදිරිපත් කරන ලද WOR සහතිකයේ නිරවද්‍යතාව සොයා බැලීමකින් තොරව රජයේ මුදල් ගෙවීම වෘත්තීය වගකීම නොසලකා කටයුතු කිරීමක් බවටද නිරීක්ෂණය වූ බව ද මහේස්ත්‍රාත්වරිය කියා සිටියාය.
නොඉපදුනු අනාගත දරුවාද ගෙවීමට යටත්ව රජයේ වැටුප් ලබමින් බදු ගෙවන ජනතාවගේ මුදලින් වරප්‍රසාද ලබා හුදු අත්සන් යොදමින් කටයුතු කිරීමත් මනුෂ්‍ය ශරීරයට යොමු වන ඖෂධ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී නිර්දේශ නොසලකා හැරීමත් නිරීක්ෂණය වී ඇති බවත් ඇය කීවාය.
වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා ඉමියුනිග්ලොබින් එන්නත නියමිත පරිදි ලංකාවට ගෙන්වා ආනයනය කර තිබේද යන්න සොයා බැලීමේ වගකීම පැහැර හැර ඇති බවත් අනෙකුත් සැකකරුවන් WOR සහතිකය නොමැතිව එන්නත් තොග පරීක්ෂා කිරීමකින් තොරව බාර ගෙන අවස්ථා 6කදී රුපියල් මිලියන 44ක් ගෙවමින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386, සාපරාධී සාවද්‍ය පරිහරණය, පොදු දේපළ පනතට එරෙහි වැරදි සහ කුමන්ත්‍රණයට අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම සිදු කර ඇති බවත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණයට දන්වා සිටියාය.
සැපයුම්කරු සහ දෙවැනි සැකකරුගේ එකඟතාව නොමැතිව රජයේ මුදල් සැපයුම්කරුගේ ගිණුමට යා නොහැකි බව කී ගිරිහාගම මෙනවිය, එසේ සිදුව ඇත්තේ කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස බව ද කීවාය.
මෙම සිද්ධියට පෙර තම සේවාදායකයා විදේශ පුහුණුවක් සඳහා 2022.01.04 දින ගිය බවත් නැවත පැමිණ ඇත්තේ දෙසැම්බර් මස 16 දින බවත් දෙවැනි සැකකරු වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කියා සිටියේය.
වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂවරයා ලෙසින් ඔහු පත්වන්නේ ඉන් පසුව බව කී සාලිය පීරිස් මහතා, ඖෂධවල තත්ත්වය සම්බන්ධයෙන් පර්යේෂණාගාරවල පරීක්ෂණ වෛද්‍ය සැපයීම් අංශය සිදු නොකරන බව ද කීවේය. වෛද්‍ය සැපයීම් අංශය සිදු කරන්නේ ඖෂධ ගබඩා කිරීම, බෙදා හැරීම පමණක් බවත් අපරාධමය වගකීමක් කපිල වික්‍රමනායක සිදු කර නැති බවත් පැවැසීය. ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙසත් මුදල් ගෙවීම කර තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය ඇතිව බවත් කියා සිටියේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, අමාත්‍යවරයා සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විමර්ශන නොකර අපරාධමය වගකීම නිලධාරීන් මත දැමීම යුක්ති සහගත නොවන බව ද හෙතෙම කියා සිටියේය.
මෙහි දී කරුණු දක්වමින් ලක්මිණි ගිරිහාගම මෙනවිය-
මෙය ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ආනයනය කිරීමට නියමිත ඖෂධයක්. කැබිනට් අනුමැතිය ප්‍රකාරව සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව හදිසි මිල දී ගැනීම් කමිටුව විසින් මිල දී ගෙන තිබෙනවා. මෙම ඖෂධය ලංකාවට ආනයනය කිරීමට මිල ගණන් ඔන් ලයින් ඔස්සේ සිදු කර තිබෙනවා. ලංකාවට ඖෂධ ආනයනය කිරීමට ඖෂධ නියාමන සංස්ථාව විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය සනාථ කළ යුතුයි. ලියාපදිංචි නැති අයට ඖෂධ සැපයිය හැකිය වන්නේ අදාළ සහතිකය ලබා ගැනීමෙන් පසුවයි. අදාළ ටෙන්ඩරය පරීක්ෂා කිරීමේ කමිටුව අනුමැතිය ලැබූ පසු සාමාජිකයන් 03 දෙනකු අනුමැතිය දෙන්නේ 2023.01.04 දිනයි. ටෙන්ඩරය දී තිබෙන්නේ 2022.10.28 දිනයි. ටෙන්ඩරයට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක් යොමුකර තිබෙනවා. ටෙන්ඩරය කෙසේ ක්‍රියාත්මක වුවත් වෛද්‍ය සැපයීම් අංශය තමයි රෝහල්වලට යොමු කරන්නේ. තමන් අතට එන ඖෂධය රෝගීන්ගේ භාවිතයට සුදුසුද නැද්ද, ටෙන්ඩර් පටිපාටියට ගෙන්වන ලද්දේද, ප්‍රමිතියට යටත්ද, නියමිත ලෙස ගෙන්වා තිබේද යන්න යන සියලු කාරණා ඔහු පරීක්ෂා කළ යුතුයි. මෙම ඖෂධය නියමිත පරිදි ගෙන්වා තිබෙන්නේද යන්න පරීක්ෂා කළ හැක්කේ ඔහුටයි. අමාත්‍යාංශයේ උපදෙස් ලැබුණු පසු අවශ්‍ය උපදෙස් ලබා දෙන බව සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රකාශයේ සඳහන් වෙනවා. දෙක තුන සැකකරුවන්ට ලබා දුන් බවට අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රකාශයේ තිබෙනවා.
බෙහෙත් ගෙන්වන විට තත්ත්ව පාලනය බලනවා. එම සැපයුම්කරු අසාදුගත වී තිබේද, ගෙන්වන්න පුලුවන්ද, මින් පෙර භාවිත කර තිබේද භාවිත කරන අයට සංකූලතා තිබේද යන්න සොයා බලලයි අදාළ සහතිකය ලබා දිය යුතු වන්නේ. එවැනි වගකීමක් දැරීමට අධ්‍යක්ෂ ජනරාල්වරයාට හැකියාව තිබිය යුතුයි. ඖෂධ නියාමන අධිකාරිය කිසිදු අවස්ථාවක WOR සහතිකය පරීක්ෂා කර නැහැ. පළමු සැකකරු 2023.02.17වෛද්‍ය සැපයීම් අංශයෙන් ඉල්ලනවා. එසේ ඉල්ලා තිබිය දී 2023.02.23 නැවත ඉල්ලා තිබිය දී ව්‍යාජ සහතිකය 2023.02.17 යොමු කර අවස්ථා 6 දී රුපියල් මිලියන 44 පළමු සැකකරුට ගෙවා තිබෙනවා. මේවා සොයන්න අමුතු උපාය අවශ්‍ය නැහැ. ඒ මතයි රෝගියාගේ ජීවිතය රඳා පවතින්නෙ.
මහේස්ත්‍රාත්වරිය-
මුල් ලේඛනයක් නැතිව ගෙවීම් කරන්නේ කොහොමද
නීතිපතිවරයා-
අපිටත් තියෙන ප්‍රශ්නය එයයි.
පළමු සැකකරු රැවැට්ටුවා නම් එය පරීක්ෂා කළ යුතුයි. පිළිවෙළින් මේ සැකකරුවන් මේ ක්‍රමවේදය නොසලකා හැරලා. සෞඛ්‍ය අමාත්‍යාංශය වග කියන්නේ රෝගියාගේ ශරීරයට අදාළවයි. දෙවැනි සැකකාරිය මේ සියලු කාරණා පරීක්ෂා කර අනුමැතිය ලබා දිය යුතුයි. මේ අය කටයුතු කරන්නේ මිනිස් ජීවිත සමඟයි. මේ එන්නත් තොගය සිව්වැනි සැකකරු නිසි පරීක්ෂා කිරීමක් සිදු කරා නම් තත්ත්වය මීට වෙනස් විය හැකිව තිබුණා. පස්වැනි සැකකාර ගණාකාධිකාරිවරයා මුදල් ගෙවීමට පෙර මේ සහතික නිසි ආකාරයෙන් ගත් ඒවාද යන්න පරීක්ෂා කර බලා ගෙවිය යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සියලු දෙනා රෝගී ශරීරවලට ඇතුළත කරන ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් විගකිව යුතු වෙනවා. ලබා දෙන ඖෂධය ජීවිතය රැක දෙන බවට ඔවුන් තහවරු කළ යුතුයි. සැකකරුවන් සිව් දෙනා ටෙන්ඩරය දීම තෙක් මුදල් ගෙවන තෙක් පරීක්ෂාවෙන් කටයුතු කළ යුතුයි. එම ටෙන්ඩරය ලබා දීමේ දී එක් කොන්දේසියක් පනවා තිබෙනවා එය ආනයනය කළ යුතු බවට. ඊට නියමිත කාල සීමාවක් දී තිබෙනවා. තත්ත්වයෙන් නුසුදුසු නම් එම එන්නත් තොග ප්‍රතික්ෂේප කිරීමටත් සියයට 25 දඩයක් නියම කිරීමටත් යටත්. පස්වැනි සැකකරුගේ ප්‍රකාශ අනුව පස් වතාවක් සැපයුම්කාර පළමු සැකකරුට මුදල් ගෙවා තිබෙනවා. ගෙවීම් කර තිබෙන්නේ කුප්පි 100, 200, 300ක් ලෙසින්. මේ වැනි කුඩා තොගවලට මෙරටට නැව් කීයක් එන්නද? මේ ගැනවත් අවධානය යොමු කරන්න මේ අයට නොහැකිද?. සාමාන්‍ය පුද්ගල බුද්ධි පරීක්ෂාවෙන් පවා ඔවුන් අසමත්. කිසිම අවස්ථාවක මේ එන්නත ලංකාවට ආනයනය කර නැහැ. ටෙන්ඩරයේ කොපිය දෙවැනි සැකකරුට ලැබී තිබෙනවා. තෙවැනි සැකකරු ඔහුට උදව් කර තිබෙනවා. මේ සියලු දෙනා එකතුව ඔවුන්ගෙන් විය යුතු වගකීම ඉටු කර නැහැ.
දෙවැනි සැකකාර කපිල වික්‍රමනායක මහතා වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා
මේ සිද්ධිය වන අවස්ථාවේ මගේ සේවා දියකයා සිටියේ විදේශ ගතවයි. පසුවයි වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් වන්නේ. ඖෂධ 14,000ක් සම්බන්ධයෙන් මේ නිලධාරින් කටයුතු කරනවා. සේවකයන් 500ක් සිටිනවා. ඔහු මේ එන්නත් පුද්ගලිකව පරීක්ෂා කිරීමක් සිදු කරන්නේ නැහැ. දශක ගණනාවක් තිස්සේ එසේ සිදු කර නැහැ. අදාළ මුල් සහතිය වෛද්‍ය සැපයීම් අංශයට ලැබෙන්නේ නැහැ. ඊට ලැබෙන්නේ පිටපතක්. සෞඛ්‍ය ඇමැතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයා මීට වගකිව යුතුයි. මුල් ලේඛනය තිබෙන්නේ රේගුවේ. කුමන්ත්‍රණයක් සිදු කර වංක චේතනාවෙන් කටයුතු කර තිබෙන බව පැමිණිල්ල දැනුම් දෙනවා. ඒ ගැන මොහුගේ දායකත්වය ගැන දැනුම් දෙන්න. අධිකරණයේ සිදු කරන කාර්යභාරයක් තිබෙනවා. ඊට අනුවයි අධිකරණය කටයුතු කරන්නේ.
මහේස්ත්‍රාත්වරිය-
අධිකරණය ඉටු කරන කාර්යභාරය මා දන්නවා. සැකකරුවන්ගේ කාර්යභාරය අධිකරණයේ කාර්ය භාරයට සමාන කරන්න උත්සාහ කරන්න එපා.
ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා-
මේ ක්‍රමවේදය දශක ගණනාවක සිටයි අනුගමනය කර තිබෙන්නේ. මගේ සේවා දායකයා මේ සිද්ධියෙන් වින්දිතයෙක් බවට පත්ව තිබෙනවා.
මහේස්ත්‍රාත්වරිය-
දෙවැනි සැකකරුට අවසරය ලැබෙනවා නේද අවසාන ගෙවීමට අනුමැතියදෙන්න?. සැපයුම්කරු ලියාපදිංචි අයෙක්ද යන්න සොයා බැලීමේ වගකීමක් ඔහුට තිබෙනවා නේද?. නියමිත පරිදි එන්නත් ගෙන්වා තිබේද?, ප්‍රමිතියෙන් යුතුව නිෂ්පාදනය කර තිබේද?, ඇතුළු කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි නේද?.
ජනාධිපති නිතිඥ සාලිය පීරිස් මහතා-
මේ එන්නත් ගෙන්වීමේ ප්‍රසම්පාදන කාර්ය පටිපාටියක් තිබිලා තියෙනවා.තාක්ෂණික ඇගයීම් කමිටුව ඒ ඇගයීම් සිදු කර ප්‍රසම්පාදන කමිටුව අනුමත කළ පසුවයි අදාළ තීරණ ගෙන තිබෙන්නේ.ඊට පසුවයි වෛද්‍ය සැපයීම් අංශයට භාණ්ඩ ලැබෙන්නේ. තත්ත්වය සම්බන්ධයෙන් පර්යේෂණාගාරයක පරීක්ෂණ වෛද්‍ය සැපයීම් අංශය විසින් සිදු කරන්නේ නැහැ. වෛද්‍ය සැපයීම් අංශය සිදු කරන්නේ ගබඩා කිරීමයි බෙදා හැරීමයි පමණයි. මගේ සේවා දායකයා මේ අනුව අරපාධමය වරදක් සිදු කර නැහැ. ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන්න. මුදල් ගෙවීම් අනුමත කර තිබෙන්නේ සෞඛ්‍ය අමත්‍යාංශයේ ලේකම්වරයා සහ අමාත්‍යවරයා විසින්.නිලධාරීන් පමණක් අත්අඩංගුවට ගෙන වගකීම් ඔවුන් මත පමණක් පැටවීම යුක්ති සහගත නැහැ.
තෙවැනි සැකකාරිය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ මහතා-
මුලින් සැපයුම්කරු මෙවැනි සැපයීම් කර තිබේද යන්න විමසා ඇති අවස්ථාවක නැත යනුවෙන් මගේ සේවා දායිකාව සටහන් කර තිබෙනවා. තෙවැනි සැකකාරිය සම්බන්ධයෙන් සානුකම්පිතව සලකා බලා ඇපයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.
සිව්වැනි සහ පස්වැනි සැකකරුවන් වෙනුවෙන් කරුණු දක්වමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල ඇප ඉල්ලා සිටියේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය-
ප්‍රශ්නය තමන්ගේ වෙනකම් මේ අයගේ පිළිතුරු දාර්ශනික වෙනවා. මේ විදියට ඇල් වතුර වුණත් රෝගීන්ට එන්නත් කරන්න එවන්න පුළුවන්. රටේ මහජනතාව පරීක්ෂා කිරීමේ වින්දිතයන් නොවිය යුතුයි. පළමු සැකකාර සැපයුම්කරු සමාගම් දෙකකින් පෙනී සිටිමින් එක් පෙනී සිටි සමාගමකට මුදල් නොගෙන අනෙක් සමාගමේ ගිණුමට මුදල් බැර කරවා ගෙන තිබෙනවා. ඒ වවුචර සකස් කර තිබෙන්නේ ඔහුගේ තනි පුද්ගල ව්‍යාපරය නමින්. එසේ කර තිබෙන්නේ එකඟ වීමේ හේතුවෙන්. මේ මුදල් ගිය තැන් සොයනවා. වගකිව යුතු අය සොයනවා. මේ අය සම්බන්ධයෙන් නියෝග හතක් ඉල්ලා තිබෙනවා. ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි. කිසිවකුට පරපීඩක ආශාවන් සංතෘප්ත කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඉදිරි විමර්ශන කර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනවා. රජය කියන්නේ මේරටේ මහජනතාවයි. මෙවැනි කියාවන්ට අනුබල දීම වරදක්. එන්නත් කුප්පි 7500 සැපයුම්කරු ඉල්ලන විට එන්නත් කුප්පි 22,500ක් භාර දෙනවා.
ටෙන්ඩරය ලද දිනයේ සිට දින පහක් තුළ ගෙන්වන ලෙසත් තත්ත්වය බාල වුනොත් නැවත බාර දීමටත් සියයට 25 දඩයක් අය කිරීමටත් ටෙන්ඩරයෙන් නියම කර තිබියදීත් පළමු තොගය ගේන්නේ කුප්පි 100යි. මෙහෙම නැව් එනවාද. මෙහෙම මේ නිලධාරීන් කටයුතු කර තිබෙන්නෙ සාමුහිකව අපරාධමය වරදක් සිදු කරමින්. ඇප ලබා දීමට සුවිශේෂී කරුණු ඉදිරිපත් කර නැහැ. ඉදිරි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටිනවා.
සියලු කරුණුවලට සවන් දුන් මහේස්ත්‍රාත්වරිය විමර්ශන කඩිනම් කර අත්අඩංගුවට ගැනීමට ඇති සියලු සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙසත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් සිව්දෙනා ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය.
ඡායාරූපය – සුදත් නිශාන්ත
සුභාෂිණී සේනානායක