Tuesday, December 5, 2023
Home » රට ගොඩනඟන ජනපති වෑයමට තරුණ ප්‍රජාවගේ දායකත්වය අවශ්‍යයයි

රට ගොඩනඟන ජනපති වෑයමට තරුණ ප්‍රජාවගේ දායකත්වය අවශ්‍යයයි

-ජාතික තරුණ පාර්ලිමේන්තුවේ පස්වන සැසියේදී මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් කියයි

by sachintha
November 21, 2023 1:00 am 0 comment

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රට ගොඩනඟන වැඩපිළිවෙළට තරුණ ප්‍රජාවගේ දායකත්වය අවශ්‍ය බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධාන කළ පස්වන ජාතික තරුණ පාර්ලිමේන්තුවේ 05වන සැසිවාරයේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

නොවැම්බර් 18 සහ 19 දෙදින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේ දී සැසිවාරය පැවැත්විණි.

මෙවර සැසිවාරයේ තේමාව වූයේ “වර්තමාන ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා 2024 අය වැය යෝජනා ඵලදායී ලෙස යොදා ගැනීම වෙනුවෙන් තරුණ අදහස් හා යෝජනා ලබා ගැනීම” යන්නයි.

මෙහි පළමු දින ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ, ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න මහත්වරු සහභාගී වූහ.

තරුණ පාර්ලිමේන්තු පනත, දේශපාලන ඇකඩමිය සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල කාර්යභාරය මෙන්ම තරුණ පාර්ලිමේන්තුව ඩිජිටල්කරණය යන කරුණු ගැන ද මෙවර සැසිවාරයේ දී අවධානය යොමු කෙරිණි. 2024 අය වැය වෙනුවෙන් තරුණ යෝජනා සහ අදහස් ලබාදීම අගය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුත් ලිපියක් ද මෙහිදී තරුණ පාර්ලිමේන්තු සාමාජික සාමාජිකාවන් වෙත පිරිනැමිණි.

වැඩිදුරටත් මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා මෙසේද පැවසීය.

දැනට ස්ථාවරත්වයට පත්ව ඇති රටේ ආර්ථිකය, පූර්ණ ස්ථාවරත්වයකට ගෙන ඒම මෙවර අය වැයේ ප්‍රධාන අරමුණ බව කිව යුතුයි. ඒ වගේම 2024 වසර ආර්ථික වර්ධනයක් ලැබූ වසරක් බවට පත් කිරීමත් මෙවර අය වැයේ තවත් අරමුණක්. මේ සඳහා රටේ සියලු ජනතාව විශාල කැප කිරීමක් කළා. 2022 වසර දෙස නැවත හැරී බැලුවොත් ඒ කටුක, අමිහිරි අත්දැකීම් නැවත මේ රටේ ඇති වෙනවා දැකීමට කිසිවෙක් කැමති නැහැ. ඒ නිසා අර්බුදය ඇතිවීම සහ අර්බුදය ඇති වීමට බලපෑ හේතු ගැන නිසි අවබෝධයකින් යුතුව රට ඉදිරියට ගෙනයෑමේ අය වැයක් මෙවර ඉදිරිපත් කර තිබෙනවා.

අය වැයේ හොඳ කරුණු සහ තවදුරටත් ප්‍රවර්ධනය විය යුතු කරුණු ගැන අධ්‍යයනය කරන්න. එකිනෙකා දකින අන්දමින් තීන්දු ගන්නවා වෙනුවට, දත්ත සහ ඉලක්කම් මත පදනම්ව, නිසි ඇඟයීමකට ලක්වන තීන්දු තීරණ ගැනීමේ ප්‍රතිපත්තියක් මේ වන විට ජනාධිපති සහ රජය ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ අනුව ලෝකයේ හොඳ දේ සමඟ රට ඉදිරියට ගෙන යෑමේ වැඩපිළිවෙළට තරුණ ප්‍රජාවගේ ද සහාය අවශ්‍යයි.

තරුණ කටයුතු හා තිරසර සංවර්ධනය පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂවරුන් වන රන්දුල අබේධීර, සතිර සරත්චන්ද්‍ර මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

ශිරෝමි අබයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT