Tuesday, December 5, 2023
Home » රණවිරු පවුල් 1500 ක් අලි කරදරයක

රණවිරු පවුල් 1500 ක් අලි කරදරයක

by chanaka
November 21, 2023 9:19 am 0 comment

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉපලෝගම, රණජයපුර ගම්මානයට නිරන්තරයෙන් කඩා වදින වන අලින් හේතුවෙන් එම ගම්වාසීන් පීඩාවට පත්ව ඇත.

කෘතවේදීත්වයේ පුරවරය, ලෙස යුධ ජයග්‍රහණයෙන් පසුව යුද්ධයෙන් දිවි පිදූ, ආබාධිත තත්වයට පත් වූ හා දැනට සේවයේ නියතු රට ජාතිය බේරාගත් විරෝධාර ත්‍රිවිධ හමුදා රණවිරුවන් වෙනුවෙන් නිවාස 1509 ක් ඉදි කර 2009 වර්ෂයේ නොවැම්බර් මස 22 වැනි දින ඔවුන් වෙත ගම්මානයක් ලෙස භාර කරනු ලැබීය.

අදාළ ගම්මානයේ, පාසල්, බැංකු හා ව්‍යාපාරික ස්ථාන ඇතුළු භෞතික පහසුකම් පැවතියද වන අලින් නිරන්තරයෙන් ගම්වැදීම හේතුවෙන් ගම්වාසීන්ට මේ වන විට එම ගම්මානය අතැහැර දැමීමට සිදුව ඇතැයි ගම්වාසීන් පවසති.

එලෙස ඊයේ (20) අලුයම කඩා වැදුනු වන අලි 15 ක පමණ රංචුවක් රණජයපුර මහා විද්‍යාල භූමියේ පවතින බුදු මැදුරට යාබදව පිහිටි බෝධිය (බෝ ගස) මෙන්ම,අඹගස්, පොල් ගස් ඇතුළු වටිනා භෝග රැසකට මෙන්ම පාසල් භූමියේ පිහිටි මල් පෝච්චි, ජල නල, සෙල්ලම් මිදුලේ වැට ඇතුළු බොහෝ දේ විනාශ කර දමා ගොස් ඇත.පාසල් භූමිය පුරා අලින් සැරි සරා ඇති බව එහි ගිය අපට නිරීක්ෂණය විය.

2010 වර්ෂයේ රණජයපුර පාසල ආරම්භ කල අවදියේ සිටවු අඹ පැළ රැසක් මෙලෙස විනාශ වී ඇති බවත්, ගම්මානය අවට අලින් 100 කට ආසන්න රංචුවක් පාසල ආසන්නයේම පිහිටි කැලැවේ සිටින බවත්. දිවා කාළයේදී මෙම අලි රංචුව දරුවන් දහසකට ආසන්න සංඛ්‍යාවක් ඉගෙනුම ලබන පාසලට කඩා වැදුන හොත් සිදු වන විනාශය අති විශාල බවත් දෙමාපියන් අනතුරු අඟවති.

ගම්මානය වටා අලි වැටක් පැවතියද එය සක්‍රීය මට්ටමේ නොපැවතීම හේතුවෙන් මෙම අලි කරදරයකට තමන් මුහුණ දෙන බවට ගම්වාසීන් පවසති.පාසල් භූමියේ සැරිසැරූ වන අලින් අලුයම් කාළයේදී ගම්මානය හරහා පැමිණ නිවාස අසලින් ගොස් පොල්, කෙසෙල්, අඹ ඇතුළු වටිනා ගස් රැසක් විනාශ කර ඇතැයි ගම්වාසීන් පවසති.


පාසලට මේ ආකාරයෙන් වන අලි කඩා වැදීම ඉතාම භයානක බව ගම්වාසීන් පවසති, ක්‍රීඩා පුහුණුවීම් සඳහා දරුවන් අලුයම් කාළයේ පාසලට පැමිණෙන බවත්, එසේ පැමිණෙන මොහොතක වන අලි පාසල තුළ සිටිය හොත් දරුවන්ගේ ජීවිත අවදානමක් බව ඔවුන් පවසති, රාත්‍රියට පමණක් නොව දිවා කාළයේද මෙම වන අලින් ගම්මානය අවට සැරිසරන බව ඔවුන් පවසති.

මාස 04 ක පමණ සිට මෙම වන අලි ගැටලුව පවතින බවත්, අදාළ බළධාරීන්, නිළධාරීන් දැනුම්වත් කළත් මෙතෙක් කිසිදු විසදුමක් නොලැබුණ බව ගම්වාසීන් පවසති. ගම්වාසියකුගේ හෝ දරුවකුගේ ජීවිතයක් විනාශ වූ පසු විසදුමක් ලබා දීමෙන් ඵළක් නැති බව ගම්වාසීන් පවසති.

යුධ ජයග්‍රහණයේ නියමුවන්ට කෘතවේදීත්වයේ නගරයට ලෙස තම ගම්මානය ඉදි කළද, ආරක්ෂක අමාත්‍යංශයද තමන් මෙහි පදිංචි කළ පසු ඇති ගැටලු සම්බන්ධයෙන් සොයා නොබලන බවද ගම්වාසීන් පවසති.
වන අලින් ගම්වැදීම පාලනය කිරීම සඳහා අලිවැට සක්‍රීය කරන ලෙස ඔවුන් ඉල්ලා සිටිති.

වනජීවි නිළධාරීන්ද රණජයපුර ගම්මානයට පැමිණ මෙම අලි ගැටලුව සම්බන්ධයෙන් සොයා බලන ආකාරයද දැක ගත හැකි විය.

 

(තිසර සමල් – අනුරාධපුර)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT