ඉතිහාසය වනාහි රටේ අනාගතය සඳහා වන ඔප්පුවය. ඔප්පු තිරප්පු ටික ගෙදරින් පැහැරගත් කල්හි ඒ පවුලට උන් හිටි තැන් නැති වන්නේය. අද නොවැම්බර් 21 වෙනිදාය. 2009 වසරට කලින් නොවැම්බර් 21 වෙනිදා යනු අගනුවර සහ තදබද පළාත් පාළුවට යන දවසකි. එදාට ළමෝ ඉස්කෝලෙ යවන්නේ නැත. උමතුවෙන් ලේ සෙවූ ප්‍රභාකරන් සිය උපන් දිනය සමරන්නේ ලෝකයට ඇහෙන්න ‘සාම ටෝක්’ දෙන ගමන්ය. ලොක්කා එහෙම කතා පවත්වන කල්හි ගෝලයෝ දකුණ දෙදරවන්නට බෝම්බ ප්‍රහාර එල්ල කරන්නාහ. ඔහොම දවස්, වසර තිහක් තිස්සේ අපි පසු කළෙමු.
2008 වසරේ අප්‍රේල් 25 වෙනිදා, මඩු දේවස්ථානය අල්ලා ගත් පසු ආරක්ෂක හමුදාවන්ගේ ඊළඟ ඉලක්කය වූයේ පාලම්පිඩ්ඩි නගරය අල්ලා ගැනීමය. වන්නිය වනාහි වසර ගණනාවක් එක දිගට කොටි බලය පැතිර තිබූ ඒරියා එකකි.
පොළොවේ පස් තට්ටුවේ මුලින්ම ඇත්තේ හියුමස් නම් දිරා ගිය රොඩු කැබලි ආදී දේය. ඊට යටින් බුරුල් පසක් හමුවන්නේය. ඊට පහළින් ඇත්තේ යටි පස හෙවත් සංචායක කලාපය ය. හියුමස් ආදියෙන් ශේෂව සෝදාගෙන යන ද්‍රව්‍ය තැන්පත් වන්නේ මෙම ස්ථාරයනයේය. ඔහොම පස, තට්ටු ලෙසට අපට උගන්වන්නේ දහය පන්තියේ පොතේය.
ඒ කාලයේ නැඟෙනහිර පළාතේ ඔය දෙවැනි පස් තට්ටුව සමන්විත වූයේ බිම් බෝම්බ ස්තරයකිනි. ඒ නිසා හමුදාවෝ කොටි පීරා වැනසීම පිණිස යන්නේ, පැයට සැතපුම් කාලක පමණ වේගයකිනි. එහෙම යන අතරේ මර උගුල් පත්තුවී එදා උදේ කඳවුරෙන් කකුල් දෙකෙන් ඇවිද ගෙන ආ සෙබළා, යළි රෝහල බලා යන්නේ කකුලේ කොටයක් මඟ දමා, අත්, ඇස් ආදිය ද අසල ඇති ගහක මුදුනේ රඳවාය.
2008 මැයි 16 වන විට පාලම්පිඩ්ඩි නගරය අල්ලා ගැනීමට හමුදාවෝ සමත් වූහ. මැයි 23 වෙනිදා මුන්ඩිරිප්පු ගම අල්ලා ගත් පසු, පුරා සති තුනක්ම සටන් කරන ලද්දේ පෙරියමඩු ගම්මානය අත්පත් කර ගැනීමටය. වවුනියා සටන් පෙරමුණේ පෙරියමඩු උපක්‍රමික වශයෙන් වැදගත් ස්ථානයකි. ජූලි 15 වෙනිදා දරුණු සටනෙන් පසු, පෙරියමඩු කොටසක් අල්ලා ගැනීමට හමුදාවට හැකි විය. පැති තුනකින් පෙරියමඩු ගම්මානයම වට කර දෙමින්, මීටර 700 ක් පුරා දිවෙන බංකර පෙළකට කාලතුවක්කු හා මෝටාර් ප්‍රහාර එල්ල කර, මුලතිව් හා මන්නාරම, මායිමේ පිහිටි පෙරියමඩු රජය සතු කර ගැනීමට හමුදාව සමත් විය.
57 වන සේනාංකයේ 571 වැනි බල සේනාව පෙරියමඩු අත්පත් කර ගැනීම, ඉදිරි යුද ජයග්‍රහණය සඳහා පැහැදිලි පදනමක් විය. පෙරියමඩු අත්පත් කර ගැනීමෙන් පසු උතුරින් ඇති සැපයුම් මාර්ග හැර එල්ටීටීඊයට වෙඩිකලතිව් වෙත වන්නියෙන් දිවෙන සියලුම සැපයුම් මාර්ග අවහිර විය. පෙරියමඩු වැව් ප්‍රදේශය එල්ටීටීඊයේ ප්‍රධාන යුද කඳවුරක් වී තිබුණි.
පෙරියමඩුව කියන්නේ එහෙම පළාතකි. ඒ වැව අධ්‍යයනය කළ යුතු වාරි පද්ධතියකි. ඒ තරමට අතීත සිංහලයා සිය පෘථුල වාරි ඥානය මේ බිමට දායාද කර තිබුණි. වසර දෙදහසක් පැරණි ඒ වැව් පද්ධතියේ ගල් ගලවා, අලුත් ප්‍රොජෙක්ට් එකක් සඳහා ‘කෂ්ටිය සෙට්’ වන බව ඊයේ දිනමිණ වාර්තා කළේය. මේ වාරි තාක්ෂණය තවමත් අධ්‍යයනය නොකළ කලාපයකි. එහෙවු බිමක් රැක ගත යුත්තේ ඉපදෙන්න ඉන්න එකාට හෝ ‘කේස් ස්ටඩියක්’ කර, අතීතයෙන් පාඩමක් උගැනීම පිණිසය.
වසර 2000කට වඩා ඉපැරණි පෙරියමඩු වැව ආශ්‍රිතව වාරි පද්ධතියේ ගල් ආදිය මනාව පිහිටා තිබුණේය. ඕවා දකින මෝඩයා සිතන්නේ මේ නිධානයක් කියාය. ජාතියේ නිධානය වන්නේ, රත්තරන් මුතු මැණික් ආදිය නොව රඳවා ගත් ජල කඳ යැයි අපේ මුත්තෝ සිතූ හෙයින්, ඒ සඳහා වූ වාරි පද්ධතිය තවත් වසර දහසකට පවතින ලෙස සකස් කර ඇති හෙයින් එය මනා ඉංජිනේරු තාක්ෂණයෙන් අනූනය. අර මෝඩයෝ සිතන්නේ මෙතැන ඇත්තේ රන් රිදී වැනි නිදන් කියා හෙයින්, ඒ මාහැඟි වැව් පද්ධතිය උගුල්ලා දමා ඔවූහු නිධන් සොයන්නට වූහ. නිදන් හොරු එසේ මුලින්ම වැඩේට බටහ. නිදන් ගන්නට කියා අර මෝඩයෝ කළුගල් පෙරළා දමති. ඒවා බුරුල් කර එහෙට මෙහෙට හරවා තිබෙනවා දකින තව එකෙක් දෙන්නෙක් ගෙදර පඩියට, අත්තිවාරමට ඒවා රැගෙන යන්නාහ.
ඔය උමතුවට, වර්ගවාදය එක්වූ කල්හි විනාශය සුළු පටු නැත. කොටියාවත් මේ වාරි පද්ධතිය විනාශ නොකළේය. එහෙම තිබියදී කෝවිලක් හදා ගැනීම සඳහා තව ගැන්සියක් මාන බලන්නාහ. උතුරේ හැම ගහක් ගලක්ම කෝවිලක් වුණද මේ හැත්තට නින්ද යන්නේ නැත. මිනිස්සුන්ට වඩා කෝවිල් ඔය පළාතේ ඉදිකර වර්ගවාදය අවුස්සා, ඒ ගැන්සිය පදිංචියට, ලන්ඩන්, ටොරන්ටෝ, නිව්යෝර්ක් යන්නාහ. සාමාන්‍ය පදිංචිය කොළඹය. උතුරු සහ නැඟෙනහිර වූ කලි ආතල් ගන්නා පොට්ය. ඒ පළාතේ වර්ගවාදය අවුස්සා ඡන්දය සඳහා පාරවල් කපා ගන්නා ඔවුහු ඊට පස්සේ පළාතේ පස් පාගන්නේ එවැනිම ඉසව්වක් සඳහා හෝ ඡන්දයක් සඳහා පමණය. මේ වග දන්නා පෙරියමඩු වැසියෝ, පුරාවිද්‍යා නිලධාරීන්ට කියා ඇත්තේ, යුද සමයේදී හෝ කිසි අවුලක් නොවූ මේ වැව් පද්ධතිය තමන් ආදරයෙන් රැක බලා ගත් බවය.
දැන් ඒ සියල්ල උගුල්ලා දමා වර්ගවාදය සහ ක්ෂණික ලාභය සඳහා මෝහය ඉස්මත්තාවට පැමිණ තිබේ. පෙරියමඩුවේ ගල් ගැලෙව්වා කියන්නේ පණ පිටින් ඉන්න එකෙක් පැත්තකට හේත්තු කර දත් ගලවනවා වැනි වැඩකි. ජාතියට එය දැනිය යුත්තේ එහෙම වේදනාවක් සහිතවය. සිංහලයෝ ලොව අසහාය වූවෝ, වාරි කර්මාන්තයෙනි. ඒ සඳහා වන අනගි සාධක මෙහෙම පහසුවෙන් උගුල්ලා දමනවා කියන්නේ පෙරේදා ෆයිනල් එක ඔසියන්ට ගේමක් නැතිව ඉන්දියාව පරාද වුණා වගේය.