මාධ්‍ය හමුවේ ඇති ආර්ථික හා අනෙකුත් අභියෝග උදෙසා මාධ්‍ය විසින්ම පිළිතුරු සොයා යා යුතුය. රූපවාහිනි මාධ්‍ය, ගුවන් විදුලි මාධ්‍ය හා අත්වැල් බැඳ ගැනීම මාධ්‍ය දෙකෙහිම අභියෝගයන්ට කාලීන කදිම පිළිතුරකි. රූපවාහිනී සහ ගුවන්විදුලි යන මාධ්‍ය දෙක බොහෝ රටවල අත්වැල් බැදගෙන සිටියි. ඒ සඳහා හොදම උදාහරණය BBC ය වේ.
අදට යෙදී තිබෙන ජාත්‍යන්තර රූපවාහිනී දිනය නිමිත්තෙනි.
ප්‍රථම වරට ලොව රූපවාහිනී දිනය වශයෙන් දිනයක් වෙන් වන්නේ 1996 වසරේදීය. විශ්වයම නිවෙසට ගෙනා රූපමය කතාව වෙනුවෙන් වෙන් වුණු ඒ දිනය වන්නේ නොවැම්බර් 21 දාය. ඒ අනුව ලෝක රූපවාහිනී දිනය අදයි. සෑම වසරකම මේ දිනය නොවැම්බර් මස 21 දා සමරනු ලබයි. මෙහි මූලික අරමුණ වන්නේ, විවිධ රටවල නිශ්පාදනය වන වඩාත් හොඳ මට්ටමේ රූපවාහිනී වැඩසටහන් සහ ඒවා නිර්මාණය කරන ශිල්පීන්ගේ අත්දැකීම්, නව දැනුම අනෙක් රටවල් සමඟ බෙදා හදාගෙන රූපවාහිනී කර්මාන්තයේ වර්ධනයත් සමඟ ජාතීන් අතර සමඟිය, සහජීවනය සහ සංවර්ධනයට වේදිකාවක් තැනීමයි.
ලෝකයේ ජන සන්නිවේදන මාධ්‍ය අතරින් රූපය හා හඬ මූලික කොට ගත් ප්‍රශංසනාත්මක මාධ්‍ය රූපවාහිනියයි. එය අවිවාදාත්මකය. ඕනෑම වේලාවක, ඕනෑම උපාංගයකින් ඕනෑම තැනක සිට නැරඹිය හැකි බැවින් මේ මාධ්‍ය ලබා තිබෙන ප්‍රගතිය ඉතා ප්‍රශංසනාත්මකය. අදටත් වීඩියෝ පරිභෝජනයේ විශාලතම තනි මූලාශ්‍රය ලෙස රූපවාහිනිය ස්ථානගතව පවතින්නේ ඒ නිසාය.
රූපවාහිනී සේවාව ලොව ආරම්භ වන්නේ 19 හා 20 වැනි සියවස්වල සිදු වූ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙසටය. 1884 ජර්මන් ජාතික පෝල් නික්කෝච් ස්කෑනින් යන්ත්‍රය සොයා ගැනීමත් සමඟ චලනය වන රූපය පිළිබඳ මුල්ම අත්දැකීම ලබා ගැනීමට හැකිවිය. එම අත්හදා බැලීම් තවදුරටත් ඉදිරියට ගෙන ගිය ජෝන් ලොගී බෙයාඩ් විසින් කුඩා තිරයක් මත රූප පතිත කිරීම ඔස්සේ රූපවාහිනිය සොයා ගැනීමට මඟ පාදා ගත්තේය. මේ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස රූපවාහිනිය ජනයාට ඉතා සමීප මාධ්‍යයක් බවට පත් වීමට වැඩි කලක් ගත නොවීය.
සන්නිවේදනයේ සංකේතය
කෙසේ වෙතත් අද වන විට රූපවාහිනී මාධ්‍යය විසින් ලොව අතැඹුලක් ලෙසට ඒකරාශී කොට හමාරය. ලෝක රූපවාහිනී දිනයේ 27 වන සංවත්සරය යෙදෙන මේ මොහොතේදී අපි ලොව පුරා පවතින එක් සත්‍යයක් සමරන්නෙමු: “තිබුණාට වඩා රූපවාහිනිය බොහෝ දියුණු වී තිබේ” යන්නය. වර්තමාන රූපවාහිනිය විටෙක සාමූහික බවක්ද තවත් විටක පුද්ගලානුබද්ධ හැඟීමක් ද යුක්තය. එබැවින්, මෙම දිනය නම් කර ඇත්තේ ඉන් දැක්වෙන වස්තු බීජය සැමරීම සඳහා නොවේ. සන්නිවේදනයේ සංකේතයක් ලෙසින් එය නියෝජනය කරන ක්ෂේත්‍රය සැමරීමටය. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයේ සැබෑ බලය සහ එය මහජන මතය හැඩගැස්වීමට උපකාරී වන ආකාරය පිළිබඳ මතක් කර දෙන්නක් ලෙස ලෝක රූපවාහිනී දිනය කියවා ගැනීම වැදගත් වන්නේ ඒ නිසාය. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වාර්ෂිකව සමරන මෙම දිනයේ පරමාර්ථය විවිධ රටවල රූපවාහිනිය බිහි වී විශාල බලපෑමක් කළ මාධ්‍යයක් වශයෙන් පත් වීමත් සමඟ විවිධ රටවලින් නිර්මාණය වන වැඩසටහන් ජාත්‍යන්තර වශයෙන් හුවමාරු කර ගැනීම සහ ඒ රූපවාහිනී මාධ්‍යකරුවන්ගේ අත්දැකීම් හුවමාරු කර ගැනීම, බෙදාහදා ගැනීම මේ දිනයේ මුඛ්‍යතම අභිලාෂයකි. ඒ වගේම රූපවාහිනී වෘත්තිකයින්ගේ වෘත්තීය සහ න්‍යායික සහ සංකල්පීය දැනුම වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩසටහන්, වැඩමුළු, දේශන, සම්මන්ත්‍රණ මෙදින ලොව පුරාම පැවැත්වේ.
මෙම ගෝලීය සැමරුම් දිනය රූපවාහිනී විකාශන මාධ්‍යයේ කාර්යභාරය පිළිගැනීම උදෙසා වෙන් කෙරුණු එකකි. මාධ්‍ය සන්නිවේදනයේ දී රූපවාහිනිය ඉටු කරන සුවිශේෂී කාර්යභාරය පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම සඳහා දේශීය සහ ගෝලීය මට්ටමින් විවිධ ආකාරයේ සාකච්ඡා ද මෙදින සිදු වේ. එනයින් බලන කළ මෙය රූපවාහිනී ව්‍යාපාරිකයන්ටත්, ක්ෂේත්‍රයේ නියැළුණු හා ඊට සම්බන්ධ සියලු පුද්ගලයන්ටත් මෙන්ම නරඹන්නන්ටත් වැදගත් දිනයකි. විවිධ මාධ්‍ය හා සම්බන්ධ ලේඛකයන්, මාධ්‍යවේදීන්, බ්ලොග්කරුවන් සහ වෙනත් අය එකතු වී ජන ජීවිතයට වැදගත් දිනයක් ලෙස මෙදින හුවා දැක්වීමට පෙළ ගැසෙති. නැඟී එන සහ සාම්ප්‍රදායික රූපවාහිනී විකාශන ආකාර අතර සහසම්බන්ධයෙන් ලෝකයත්, ලෝක ප්‍රජාවත් විශාල වශයෙන් මුහුණ දෙන වැදගත් ගැටලු පිළිබඳව දැනුම්වත් කිරීමට හොඳ අවස්ථාවක් නිර්මාණය වන බව වර්තමානයේ දක්නට ලැබේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේත් දැනට වසර 15ක් තිස්සේ මෙම දිනය සැමරීම දක්නට ලැබෙයි.
රූපවාහිනී මාධ්‍යය විසින් මෙරටේ අධ්‍යාපනයට, විනෝදාස්වාදයට, තොරතුරු සම්පාදනයට මෙන්ම පෙලඹවීමේ කාර්යයෙන්ද සුවිසල් මෙහෙවරක් දියත් කළ මාධ්‍යයකි. යුගයක් කලඑළි කළා යැයි කිවහොත් එය සාවද්‍ය නොවේ. මන්ද යත් ටෙලිවිෂන් කලාව මඟින් ජනතාවට ප්‍රථම වරට අපූරු රස වින්දනයක් ලබා දුන්නේය. ප්‍රවෘත්ති කලාව ද දසත විසිරී පැතිරී ගොස් එකී කාර්යය පුළුල්ව සිදු කිරීමට සමත් විය. එසේම නව වැඩසටහන් එකතු විය. ඒ අතරට ළමා වැඩසටහන්, අධ්‍යාපන වැඩසටහන්, කලා, සෞඛ්‍ය, යනාදී වශයෙන් පුළුල් විය. මේවායේ විකාශනය සමස්ත ගම් දනව් සිසාරා ප්‍රචාරය විය. ජනී ජනයාගේ සියලු කාර්යභාරයන් සේම සිතුවිලිවල පවා වෙනසක් කරන්නට මෙකී වැඩසටහන්වලට හැකි විය.
රූපවාහිනියේ වැදගත්කම
මහජන මතය පිළිබඳව දැනුම්වත් කිරීමට, මඟ පෙන්වීමට සහ බලපෑම් කිරීමට ප්‍රධාන මෙවලමක් ලෙස රූපවාහිනිය පිළිගැනේ. විවිධ ආකාරවල ගැටුම් කෙරෙහි අවධානය යොමු කිරීම, සාමයට සහ ආරක්ෂාවට ඇති තර්ජන පිළිබඳ ව දැනුම්වත් කිරීම මෙන්ම සමාජ හා ආර්ථික ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කිරීම, රසාස්වාදය ලබා දෙනවාට අමතරව රූපවාහිනියෙන් මනාව ඉටුවෙන බව සැකයකින් තොර ය. අප සියල්ලන්ම පාහේ නිවෙස්වලට කොටු කළ COVID-19 වසංගතයේ නරකම කාල පරිච්ඡේදයේදී රූපවාහිනියේ වැදගත්කම බොහෝ සෙයින් දැනෙන්නට වූ බව අමතක කළ නොහැකිය. වඩා හොඳ ජීවිතයක් ගොඩනඟා ගැනීම පිළිබඳ ධනාත්මක සහ සත්‍යාපිත කතා බෙදා ගැනීමෙන් ජනතාව දැනුම්වත් කිරීමේ සහ සම්බන්ධ කර තබා ගැනීමේ වගකිවයුතු කාර්යභාරයක් මේ අර්බුදකාරී තත්ත්වයේදී රූපවාහිනී විකාශකයන් විසින් ඉටු කරන ලද අතර එය තවදුරටත් දිගටම ඉටුවෙමින් තිබේ.
ඉංග්‍රීසි Television යන වචනය පුරාණ ග්‍රීක “Tele”, “දුර” යන අර්ථයෙන් සහ ලතින් “Visio” යන්නෙන් “පෙනීම” යන වචන දෙක ඇසුරෙන් සෑදුණකි. එය කිසියම් ශ්‍රව්‍ය-දෘශ්‍ය පැවැත්මක් විද්යුත් සංඥා බවට පරිවර්තනය කිරීම, එය විද්යුත් තරංග හෝ වෙනත් ක්‍රම මඟින් සම්ප්‍රේෂණය කිරීම සහ තිරයක් මත ඉලෙක්ට්‍රොනිකව ප්‍රදර්ශනය කිරීම සඳහා වූ පද්ධතියකි. නිවසේදී රූපවාහිනිය යනු හුදෙක්ම ශබ්ද ගෙන එන ස්පීකර් සහිත විශාල තිරයක් සහිත උපාංගයක් වුවද එය රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනයේ පටන් සම්ප්‍රේෂණය කිරීම හරහා මිනිසුන් මිනිසුන්ටත් ව්‍යාපාරයන්ටත් සම්බන්ධ කරන විශාල කර්මාන්තයකි.
මුලදී රූපවාහිනී සංඥා බෙදා හරිනු ලැබුවේ අධි බලැති රේඩියෝ – සංඛ්‍යාත රූපවාහිනී සම්ප්‍රේෂක භාවිතයෙන් ගෘහස්ථ රූපවාහිනී ග්‍රාහකයන් වෙත සංඥා ලැබෙන පරිද්දෙනි. මෙවැනි සාම්ප්‍රදායික FTA නිදහස් විකාශනය හැරුණු විට වර්තමානයේ විවිධ වර්ගයේ රූපවාහිනී විකාශන පද්ධති තිබේ. ඒවා නම් කේබල් ටීවී, සැටලයිට් ටීවී, අයිපීටීවී “IPTV”, අන්තර්ජාල ප්‍රොටෝකෝල ටීවී” සහ නවතම එකතු කිරීම වන ඕටීටී “OTT ඕවර්-ද-ටොප්” වර්ග ය. FTA නොහොත් නිදහස් විකාශනය නොමිලේ සේවාවක් ලෙස ඔබ වෙත පැමිණියද අනෙක් විවිධ වර්ග ඔබට ලැබෙන්නේ ගාස්තු අයකරන රූපවාහිනී සේවා සපයන්නන් හරහා ය. මෙම PAY TV සපයන්නන්ට Rewind TV වැනි ඇතැම් විශේෂාංග සහිතව උසස් දෘශ්‍ය තත්ත්වයකින් හෙබි විවිධ ප්‍රභේදවල දේශීය මෙන්ම විදේශීය නාළිකා සැපයීමට හැකියාව ඇත. බොහෝ රූපවාහිනී ජාල වෙෙළඳපොළේ දක්නට ලැබුණද, අනාගතයේදී ප්‍රේක්ෂකයන් අපේක්ෂා කරන ආකාරයේ උසස් තත්ත්වයේ රූප හා අන්තර්ගතය සහිතව තෙවන පාර්ශ්වීය සේවා ඒකාබද්ධ කිරීම සඳහා හැකියාවක් ඇති එකම ක්‍රමය IPTV පමණකි.
මේ ආකාරයට විශ්වය පුරාම රූපවාහිනී මාධ්‍ය විසින් නවාංග ගොඩ නඟමින් නව තාක්ෂණය එකතු කරමින් සෑම විටම නව ආරවල් සොයා යන්නට පටන් ගත්තේය. එයට නව දැනුමැති වෘත්තීයවේදීන්ද එකතු විය. එක් එක් රටවලට ආවේණික නවාංග සේම තාක්ෂණය මුසු වූ සංස්කෘතික වැඩසටහන්ද විශ්වය පුරාම ව්‍යාප්ත වීම ද සිදු විය. ඒත් සමඟ වැඩසටහන් හුවමාරුවද සිදු විය. මේ තාක්ෂණික හරඹය තවදුරටත් තීව්‍ර වූයේ භාණ්ඩ හා සේවා වෙළඳපොළ රූපවාහිනී මාධ්‍යයට ප්‍රවිෂ්ට වීමත් සමඟය. වෙළඳ දැන්වීම් කලාවත් සමඟ මෙහි අන්තර්ගතය මෙන්ම සියලු ගුණාත්මක තත්ත්වයන් වෙනසකට භාජනය වීම වේගවත් විය. මෙයින් සිදු වූයේ හරසුන් දෑ සමාජගත වීමයි. වැඩසටහන්වල ගුණාත්මක බව පිරිහීමකට ලක් විය. අද වන විට තොරතුරු අතිරික්තයක් උද්ගත වී ඇත. පැය 24 පුරාම විකාශය කරන තොරතුරු උන්මාදයෙන් ප්‍රේක්ෂකයා තොරතුරු ව්‍යසනයකට මුහුණ පා සිටී. එය කොතරම්දැයි කියතොත් ප්‍රේක්ෂකයාට හිරිහැරයක් බවට එය පත්ව ඇත. තවද නව රූපවාහිනී නාළිකා බිහි විය. එය කොතරම්දැයි කියතොත් එක් එක් විෂයයන්ට එක් එක් නාළිකා ලෙසට පැතිර පවතී.
තොරතුරුවල ගුණාත්මක බව
යූටියුබ් නාළිකා සහ සමාජ මාධ්‍ය ඇති තරම් බිහිව ඇත. සත්‍යය හා අසත්‍ය හඳුනා ගැනීමට නොහැකි අන්දමට ශ්‍රාවකයා අතරමං වී සිටී. මෙයින් විකාශනය කරන තොරතුරු පිළිබඳ විශ්වාසය ගිලිහීමත් සමඟ රූපවාහිනී තිරයෙන් මිනිසා ඈත් වෙමින් සිටී. මිනිස් ජීවිත ද මහා කලබලකාරී සටනක යෙදී සිටින නිසා මානව සමාජයම අධික වෙහෙසකට පත්ව සිටිති. ඒ නිසා වත්මන් මිනිසා සොයන්නේ මානසික නිදහසයි. ඔවුන් සොයන මානසික නිදහස ළඟා කර දීමට රූපවාහිනී නාළිකාවලට නොහැකිය. එය රූපවාහිනියට මහත් වූ අභියෝගයක්ද වන්නේය. තවද රූපවාහිනී මාධ්‍ය භාෂාව, විශ්ලේෂණය හා සමාලෝචනය ඔවුන් විසින්ම නැති කරගෙන ඇත. වැඩසටහන් ඉදිරිපත් කිරීමේ රටාව පමණක් නොව නියාමනයෙන් බැහැරව කටයුතු කිරීම ප්‍රේක්ෂකයා රඳවා තබා ගැනීම ඇති අභියෝගයන්ය. ප්‍රවෘත්ති විකාශනයේදී විශේෂයෙන්ම නියාමනය තිබිය යුතුය. මීට රාජ්‍ය මැදිහත්වීම අවශ්‍යය. එසේම පුද්ගලික අංශ, වෙනත් සංවිධාන යනාදිය මීට සම්බන්ධ කර ගත හැකිය. බොහෝ සමාජ, ආර්ථික පීඩාවලින් වෙහෙසට පත්ව ඉන් පදමට බැට කා සිටින නරඹන්නෝ මෙවැනි නියාමනයෙන් තොර වැඩසටහන් නිසාවෙන් මිනිස් සිත් තුළ ඇති අවසන් සංවේදනයන්ද විනාශ කර දමන්නට සමත් වෙයි. මේ අතිශය හිංසාකාරී සංවේදී දර්ශන නියාමනය නොකිරීමම නරඹන්නෝ ඈත් කිරීමට හේතුවකි. තවද රූපවාහිනී නාළිකා අතර ඇත්තේ තරගයකි. මේ තරගයෙන් බැට කන්නේ අහිංසක නරඹන්නෝය. වැඩසටහන් අතර නරඹන්නෝ අතරමංව සිටිති. මේ සියල්ලෙන් සිදු වන්නේ නරඹන්නෝ රූපවාහිනී නාළිකා ප්‍රතික්ෂේප කිරීමය. මීට වසර 30, 40කට පෙර මෙන් සැනසිල්ලේ කහට කෝප්පයක් තොල ගාමින් රූපවාහිනී තිරය මත හිඳ සිටීමට අද නරඹන්නන්ට අවකාශ නැත. ඊට සමාජ ආර්ථික කරුණු රැසක් ගොනු වී තිබුණත් තොරතුරුවල ගුණාත්මක තත්වය පිළිබඳ විශ්වාසය පළුදු වීමට වගකිව යුත්තේද අන් කවරෙකුවත් නොව රූපවාහිනී මාධ්‍යමය. මේ නිසා රූපවාහිනී සහ ගුවන්විදුලි යන මාධ්‍ය දෙක බොහෝ රටවල අත්වැල් බැදගෙන සිටියි. ඒ සඳහා හොදම උදාහරණය BBC ය වේ.
මාධ්‍ය හමුවේ ඇති ආර්ථික හා අනෙකුත් අභියෝග උදෙසා මාධ්‍ය විසින්ම පිළිතුරු සොයා යා යුතුය. රූපවාහිනි මාධ්‍ය, ගුවන් විදුලි මාධ්‍ය හා අත්වැල් බැඳ ගැනීම මාධ්‍ය දෙකෙහිම අභියෝගයන්ට කාලීන කදිම පිළිතුරකි. මක් නිසාද යත් අන්තර්ජාලය මුල් කර ගත් ස්මාට් දුරකථනය අන් සියල්ල අභිබවා ඉදිරියට පැමිණ ඇති බැවිනි.
ඒ අනුව මාධ්‍ය, මාධ්‍ය ඒකරාශි වී නව තාක්ෂණය ඔස්සේ නවාංග සමඟ වෙනත් මාවත් සොයා ප්‍රේක්ෂකයන් වෙතට යාම අරඹා ඇත. ඒ අනුව අද බොහෝ මාධ්‍ය කරුවන් විසින් තමන්ගේ ප්‍රධාන දහරාවත් සමඟ යූ ටියුබ් අකාරයේ බහුමාධ්‍යකරණයට යොමු වී ඇත. මෙය අභිසාරී මාධ්‍ය යුගයක ලකෂණයකි. මෙය මිනිසුන්ගේ සන්නිවේදන කාර්යය තුළ විප්ලවීය වෙනසක් අති කිරීමට සමත් වේ. නිශ්පාදනය එකතු කිරීම, බෙදාහැරීම, පරිභෝජනය ආදී සියලු ක්ෂේත්‍රවල සහ ග්‍රාහකයාගේ සංජානනය සම්පූර්ණයෙන්ම වෙනස් තලයකට යොමු කරන්න සමත් වෙන තත්ත්වයකි. සියල්ලම එකකින් එන විදිහට අද මාධ්‍ය වර්ධනය වෙමින් පවතී. ඒ වගේම කෘතිම බුද්ධිය නැමති සාධකයද වර්ධනය වෙමින් පවතී. එය මාධ්‍ය ව්‍යාපාරය තුළ සමාජ තාක්ෂණික පරිණාමයේ දැවැන්ත විප්ලවීය සන්ධිස්ථානයකට තල්ලු වීමකි. කෙසේ වෙතත් ලොව රූපවාහිනී කර්මාන්තය ලොව විශාලතම කර්මාන්තයකි. ලෝක රූපවාහිනී දිනය අපට වඩාත් වැදගත් වන්නේ සංස්කෘතික මිනිසා නඩත්තු කරන අතරේ නව මිනිසා තැනීමට ද ගන්නා ද්විරූපී කාර්යය නිසාය.
ශ්‍යාමා සමරසිංහ