ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ පිහිටි ඉම්පාල් ගුවන්තොටුපොළට ඉහළ අහසේ හඳුනා නොගත් ආකාශ වස්තුවක් පැය දෙකකට අධික කාලයක් පියාසර කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. සුදු පැහැයෙන් යුතු සැක කටයුතු එම කුඩා ආකාශ වස්තුව පියාසර කිරීම හේතුවෙන් පැය තුනකට ආසන්න කාලයක් සියලු ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.
එම ආකාශ වස්තුව ගුවන්තොටුපොළේ ගුවන් ගමන් පාලන මැදිරියේ නිලධාරින්ට පළමුව දිස් වී ඇති අතර, පසුව ආරක්ෂක අංශවලට දැනුම් දී තිබේ. අනතුරුව ඉන්දීය ගුවන් හමුදාව විසින් ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිය ද ක්‍රියාත්මක කර ඇතැයි එරට මාධ්‍ය සඳහන් කළේය.
පෙරේදා පස්වරුවේ 2.30ට පමණ එම ආකාශ වස්තුව දර්ශනය වී ඇති අතර, පසුව එය ගුවන් ගමන් පර්යන්ත ගොඩනැඟිලිවලට සහ ධාවන පථයට ඉහළින් පියාසර කර ඇතැයි ද, අලුයම 4.05ට පමණ අතුරුදන් වී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. ඉන්දීය සිවිල් ගුවන් සේවා ආරක්ෂක ඒකකය, ඉන්දීය ගුවන් හමුදාව සහ ඉම්පාල් පළාතේ පොලිස් අධිකාරි කාර්යාලයේ නිලධාරීන් මේ පිළිබඳ විමසිල්ලෙන් පසු වූ බවත්, පසුව අලුයම 5.35ට පමණ නැවත ගුවන් ගමන් ආරම්භ කිරීමට ආරක්ෂක අංශවලින් අවසර ලැබුණු බවත් වාර්තාවේ. පසුව ඉන්දීය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානාවක් හඳුනා නොගත් ආකාශ වස්තුව පියාසර කළ බව කියන ගුවන් සීමාවේ සෝදිසි මෙහෙයුමක් ද ක්‍රියාත්මක කළ බව එරට මාධ්‍ය සඳහන් කළේය.