Friday, May 9, 2025
Home » අක්කගේ බඩ පපුව අතපය හැම තැනටම දෙඹරු සීයක් විතර ඇනලා
පන්සල් එද්දී දෙබර කූඩුව ඉහට කඩා වැටී මියගිය‍ ලීලාවතීගේ කඳුළු කතාව

අක්කගේ බඩ පපුව අතපය හැම තැනටම දෙඹරු සීයක් විතර ඇනලා

by sachintha
November 21, 2023 1:00 am 0 comment

බිම වැටී සිටි අක්කා හනික ඉස්පිරිතාලෙට අරන් යන්නැයි කීවානෑනා කියයි

මං පන්සලේ ඉඳල දුවලා ඇවිල්ල බිම වැටිල හිටිය අක්කව තනියම උස්සන්න හැදුවා. එතකොට එයා මගෙ බෙල්ලෙ එල්ලිලා ‘අනේ මාව ඉක්මනට ඉස්පිරිතාලෙට අරන් පලයං නංගියේ කිව්වා’…

දෙබර ප්‍රහාරයකට ලක්ව මිය ගිය තම ඥාති සහෝදරිය ගැන එස්. ඩබ්ලිව්. සුමනාවතී (58) මහත්මිය පැවසුවේ ශෝකය දරාගත නොහැකිවය.

පිනට දහමට හිත යොමුකළ එම්.ඩී. ලීලාවතී නෙහෙරි‍හේන විහාරස්ථානයේ ප්‍රධාන දායිකාවක් ලෙස විහාරස්ථානයේ පැවැත්වෙන ඕනෑම වැඩකට නොපැකිලව සහභාගි වෙමින් තම සහයෝගය ලබාදීමට පසුබට නොවූවාය. තමන්ගේ සහෝදර සහෝදරියන් හා ඔවුන්ගේ දරුවන් අවට නිවෙස්වල පදිංචිව සිටින බැවින් නිතරම ඇය ගැන සොයා බැලීමට කටයුතු කළ නිසා කිසි විටකත් ඇයට තනියක් දැනුණේ ද නැත. 76 හැවිරිදි ඇය පහළහෙවැස්ස, නෙහෙරිහේන, ගමේ ජීවත් වූවාය. අවිවාහකව සිටි ඇය කාටත් කරදරයක් නැතිව තමන්ගේ පාඩුවේ නිවෙසේ තනිවම සිටියේ ගමේ කාගේත් හොඳ හිත දිනා ගනිමිනි.

මේ දිනවල කඨින පූජා පින්කම පැවැත්වෙන කාලය බැවින් ලීලාවතී මහත්මිය ද ගමේ පන්සලේ කඨින පින්කම් මාලාවට සහභාගිවීමට ඇඟිලි ගැන්නේ අනෙකුත් උපාසක උපාසිකාවන් සමඟ අත්වැල් බැඳගෙනය…..ලීලාවතී අක්ක මගෙ මහත්තයගෙ ලොකු තාත්තගේ දුව. මගෙ නෑනා. එයා පිනට දහමට හරිම ළැදියි. නෙහෙරිහේන පන්සලේ කඨින පින්කමට මේ දවස්වල වැඩ තියෙනවා. අපේ තව නෑනා කෙනෙක් ඉන්නවා සෝමලතා හපුගොඩ කියලා. එයාටත් දැන් වයස අවුරුදු 70ක්. ඒ අක්කත් එක්ක ලීලාවතී අක්කා 19දා උදේ 9. 30ට විතර පන්සලට යන්න ගිහින් තිබුණා. ඒ වෙලාවෙ මම හිටියේ පන්සලේ. අක්කල දෙන්නා වෑවැල්ල අතුරුපාරෙ ගෙදර ඉඳල එනකොට තමයි මේ කරදරේ වෙලා තියෙන්නේ. පාර අයිනේ ලොකු වැලකයි මේ දෙබර කූඩුව බැඳල තිබුණේ. අක්කල දෙන්න එතැනින් එන කොට තමයි දෙබර‍ කූඩුව කඩා වැටිලා තියෙන්නේ. දෙබරු අනින කොට සෝමලතා අක්ක ප්‍රධාන පාරට දුවල කඩයක් ළඟ නැවතිලා. මේ අක්ක පන්සල පැත්තට දුවලා. මීටර් දහයක්වත් දුවන්න ලැබිලා නෑ. එයා බිම වැටිලා. අක්කගේ බඩ පපුව අතපය හැම තැනටම දෙඹරු සීයක් විතර ඇනලා. එතැන ඉඳල පන්සලට කි.මී. 1/ 2ක් විතර දුරයි. ආරංචියට පන්සලේ වැඩ කර කර හිටපු කට්ටියත් දුවගෙන ආවා. අපි ත්‍රීවිල් එකක් අරගෙන අක්කලා දෙන්නාවම මීගහතැන්න ඉස්පිරිතාලෙට අරන් ගියා.

දැඩි සත්කාරෙ ඉඳල අක්කව වාට්ටුවට දැම්මට පස්සෙ මම කවල පොවල ගෙදර ගිහින් එයාට අඳින්න ඇඳුම් අරන් ආවා. එතකොට ආයෙත් දැඩි සත්කාරෙට දාල තිබුණා. ඒ ඇවිත් වැඩි වෙලාවක් ගියේ නෑ. ලීලාවතී අක්කා නැති වුණා. දැන් සෝමලතා අක්කව නාගොඩ යවලයි තියෙන්නේ.

පහළහෙවෙස්ස ඉස්කෝලෙට පාන්දර ඉඳලම ළමයි පයින් යනවා එනවා මෙතැනින්. ගමේ අය ප්‍රසිද්ධ පාරට එන්නේ ඔය දෙබර කුඩුව ළඟින්. මේ ගැන ගමේ අය දන්නවා. ඒත් කවුරුවත් ඉදිරිපත් වුණේ නෑ ඒක ගිනි තියල දාන්නවත්.

අඩු තරමේ දන්න කියන කවුරු හරි වනජීවි එකට කියල හරි මේක අයින් කළා නම් මෙහෙම වෙන්නෙ නෑ. එහෙනම් අපේ අක්කා අදත් අපට ඉන්නවා. අක්කා වයස තමයි. ඒත් මෙහෙම මැරෙන්න තරම් වයසක් නෙමෙයි. මේ දේ නොවුණා නම් එයා තව කාලයක් ඉන්නවා. දැන් හැමදේම වෙලා ඉවරයි. අපට අක්ක නැති වුණ එක විතරයි වුණේ. වගකිවයුතු කෙනෙකුගේ අවධානය මේ ගැන යොමු නොවුණ එක තමයි මේ විනාසෙට මුල..

සුමනාවතී මහත්මිය තම දුක තුනී කර ගැනීමට උත්සාහ කරමින් පැවසුවත් යළි කිසිදිනක තම ඥාති සහෝදරිය ඔවුන් අතරට නොඑන බව සැබෑය. පන්සලේ පින්කමට සහභාගිවීමට පෙරුම් පිරූ ලීලාවතී මහත්මිය සියල්ලන්ගෙන්ම සමු ගත්තේ පහළහෙවැස්ස ගම්මානයම උණු කඳුළින් නහවමිනි.

ඡායාරූප හල්තොට සමූහ

හල්තොට සමූහ විනීතා මානෙල් ගමගේ පොතුපිටියේ සුමිත් විජේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT