Tuesday, December 5, 2023
Home » පළමු අදියරේ යල වගා හානි වන්දි කෝටි 38.9ක් බෙදා දීම අඟුණකොළපැලැස්සේදී

පළමු අදියරේ යල වගා හානි වන්දි කෝටි 38.9ක් බෙදා දීම අඟුණකොළපැලැස්සේදී

by sachintha
November 21, 2023 1:05 am 0 comment

මෙවර යල කන්නයේදී (2023) සිදු වූ වගා හානි සඳහා වන්දි මුදල් ප්‍රදානය කිරීමේ පළමු අදියර යටතේ රුපියල් කෝටි 38.9ක් ගොවීන් අතර බෙදා දීම පෙරේදා (19) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා අතින් අඟුණකොළපැලැස්සේදී සිදු කෙරිණි.
පළමු අදියර යටතේ හම්බන්තොට මහවැලි බලප්‍රදේශයේ අක්කර 13,451කට රුපියල් කෝටි 36ක් සහ චන්ද්‍රිකා වැව, කොළොන්න, පනාමුරේ සහ තිබොල්කැටිය ගොවිජන බලප්‍රදේශවල අක්කර 89කට රුපියල් 2,498,400ක් වශයෙන් මේ වන්දි ප්‍රදානය සිදු කර ඇත.

වගා හානි වන්දි වෙනුවෙන් රජයේ මූල්‍ය ප්‍රතිපාදන ලැබෙන තෙක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සතු මුදල් ප්‍රතිපාදන මේ පළමු අදියර සඳහා වැය කරන අතර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා හානි සිදු වූ ගොවීන් 375කට මේ වන්දි මුදල් හිමි වේ. මේ වන්දි මුදල් දීමේදී වී, මිරිස්, අර්තාපල්, බඩඉරිඟු, සෝයා බෝංචි සහ ලොකු ලූනු යන භෝග සඳහා වන්දි පිරිනැමේ.

ඒ යටතේ නියඟය, අධික වර්ෂාව සහ වන අලින්ගෙන් සිදු වන හානි සැලකිල්ලට ගෙන මේ වන්දි පිරිනැමෙනු ඇත. දැනට සිදු කර ඇති සමීක්ෂණ අනුව නියඟය නිසා අක්කර 65,000ක් ද, වර්ෂාව නිසා අක්කර 11,757ක් ද හානියට පත්ව තිබේ. හෙක්ටෙයාර් එකකට රුපියල් 100,000ක් බැගින් උපරිමයකට යටත්ව වගා හානි වන්දි දීම සිදු කෙරේ. ඒ අනුව රුපියල් කෝටි 300කට ආසන්න මුදලක් 2023 වසරේ වගා හානි වන්දි ලෙස ගොවීන් වෙත ගෙවීමට සිදු වනු ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය අනුමාන කරයි.
මෙහිදී අදහස් පළ කළ ඇමැති මහින්ද අමරවීර මහතා මෙලෙස අවධාරණය කළේය.

“2023 යල කන්නයේ නියඟය සහ ගංවතුර නිසා සිදු වූ වගා හානි සඳහා ඉතිහාසයේ මෙතෙක් ගෙවන වැඩිම වන්දි මුදල වගා හානි සිදුවී මාස දෙකක් ගත වෙන්නට මත්තෙන් ගොවීන්ට ගෙවීම ආරම්භ කිරීමට රජය කටයුතු යෙදූවා.
මෙවර යල කන්නයේදී බලපෑ විශාල නියඟය සහ ඊට පසු පැවති අධික වර්ෂාව නිසා අපේ ගොවි ජනතාවට විශාල දුක් ගැහැටවලට මුහුණ දීමට සිදු වුණා. රටේ ආර්ථික අර්බුදකාරී තත්ත්වයක් පැවතියත් ගොවි ජනතාවට යම් සහනයක් දෙන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකඟත්වය පළ කළා.
මින් පෙර කිසිදු අවස්ථාවක කෙටි කාලයකදී වගා හානි වන්දි ගෙවීමට පියවර ගෙන නෑ. සාමාන්‍යයෙන් වගා හානි වන්දි ගෙවන්නේ අවුරුද්දක් පමණ කාලයකට පසුවයි. නමුත් මෙවර අපි මාස දෙකක් ගතවීමට මත්තෙන් වගා හානි වන්දි ගෙවීම ආරම්භ කළා. වගා හානි වන්දි ගෙවීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන රජයෙන් තවමත් ලැබී නැතත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සතු මූල්‍ය ප්‍රතිපාදන යොදා ගනිමින් වන්දි ගෙවීම ආරම්භ කරන ලෙස මම එම මණ්ඩලයට උපදෙස් දුන්නා.
වගා හානි සිදු වූ ගොවි ජනතාව සිටින්නේ ඉතාමත් අපහසුවෙන්. ඒ අයට තවදුරටත් වගාව සඳහා වැය කරන්න මූල්‍ය ප්‍රතිපාදන නෑ. ඒ නිසා මේ වගා හානි වන්දි කඩිනමින් දීමෙන් ඒ අයට කිසියම් සහනයක් ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.”
මේ අවස්ථාවට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී. වීරසේකර මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT