Sunday, May 11, 2025
Home » ළමා තරුණ නැණැස පෑදූ මාලේවන සෝභිත නාහිමි

ළමා තරුණ නැණැස පෑදූ මාලේවන සෝභිත නාහිමි

by sachintha
November 21, 2023 12:53 am 0 comment

ජීවන ගමනේ වසර 73 සම්පූර්ණ කළත් මාලේවන සෝහිත නාහිමිපාණෝ ප්‍රදේශයේ ළමා තරුණ නැණැස පෑදීමට කැපවීමෙන් කටයුතු කළෝය. ප්‍රදේශයේ දහම් පාසල්වල වාර්ෂික ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් කටයුතු කළ උන්වහන්සේ දහම් දරුවන්ගේ අධ්‍යාපනයට විශාල වශයෙන් ධන පරිත්‍යාග ද සිදු කළේය. සිංහල බෞද්ධ දරුවා ජාත්‍යන්තරව හුදකලා නොකිරීමේ අරමුණින් නොමිලේ ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු තාක්‍ෂණය ඉගැන්වීම ද ඒ අතර ප්‍රධාන විය.

වාර්ෂිකව විවිධ ශිෂ්‍යත්ව දෙමින් දිළිඳු දරුවන් දිරිමත් කිරීම නොමඳ ප්‍රශංසාවට කරුණකි. ගිහි සහ පැවිදි ප‍්‍රජාව අධ්‍යාපනයෙන් සන්නද්ධ කරමින් ශාසනික උන්නතිය උදෙසා මාලේවන ශ්‍රී පඤ්ඤානන්ද පිරිවෙන ඇරැඹීමට කටයුතු කිරීම උන්වහන්සේගේ ශාසනික සේවාවේ විශිෂ්ට සංධිස්ථානයකි.
මාලේවන සෝහිත නාහිමියන්ගේ විශේෂත්වය වන්නේ මිනිසුන් අතර දුර්ලභ වූ කළගුණ සැලකීම සහ අසරණ සරණ ගුණයෙන් යුක්ත වීමයි. ලොව්තුරා බුදු මඟ අනුගමනය කරමින් රජ මැඳුරටත්, දුගී පැල්පතටත් සම මෙත පෑම අප නාහිමියන් තුළින් සතත දිස්වුණකි. දිළිඳු ජනතාව නඟාසිටුවීමට නිවාස තනා දීම, වහල සකසා දීම, සනීපාරක්ෂක උපකරණ ප්‍රදානය සහ ගැබිනි මාතාවන් උදෙසා සත්කාරය, ආබාධිතයන් සඳහා රෝද පුටු ආදී උපකරණ පරිත්‍යාග කිරීම ඒ අතර ප්‍රධාන තැනක් ගනී. අවශ්‍යතා සහිත වැඩිහිටියන් උදෙසා වැඩිහිටි ආධාර දීමට ද උන්වහන්සේ කටයුතු කළහ.
දූරදර්ශී ඥානයෙන් යුක්තව කටයුතු කරන උන්වහන්සේගේ තීරණ සර්වකාලීනය. ඉවසිය යුතු තැන ඉවසීමත්, මෛත්‍රීය කළ යුතු තැන මෛත්‍රී කිරීමත්, සෘජු විය යුතු තැන සෘජු වීමත්, මෘදු විය යුතු තැන මෘදු වීමත් උන්වහන්සේ නෛසර්ගයෙන්ම ගත් නෛපුණ්‍යත්වයකි.

සත පිරිස අතර සිංහ රාජයකු මෙන් තේජමානව බැබළුණු අප නාහිමියන්ගේ නායකත්ව ලක්ෂණය නිතැතින්ම ප්‍රකට වන්නකි. ප්‍රදේශයේ සිංහල මුස්ලිම් ජාතික සහජීවනයටද, බෞද්ධ ඉස්ලාම් ආගමික සබැඳියාවට ද එම අභීත නායකත්වය මැනවින් පිහිටාධාර විය.
කිසිම විටෙක නායක පදවි තනතුරු හඹා නොගිය මාලේවන නාමියෝ ඒවා තාවකාලික ලෙස සැලකූහ. Òමට හැමෝම කියන්නේ නායක හාමුදුරුවෝ කියලා, ඉතින් මට මොකටද තවත් නායක පදවිÓ යනුවෙන් නිරහංකාරව ප්‍රකාශ කරමින් තමන් වහන්සේට ලැබෙන පදවි තානාන්තර ප්‍රතික්ෂේප කළ අවස්ථා බහුලය.

සිය වෘත්තීය දේවත්වයෙන් සැලකු උන්වහන්සේ නිරන්තරයෙන් වෛද්‍ය සේවයට ප්‍රමුඛත්වයදී කටයුතු කළහ. තමන් වහන්සේට ලැබෙන ජනතා ප්‍රසාදය අන් කිසිවකට වඩා වටිනාම තනතුර බව උන්වහන්සේ තදින්ම විශ්වාස කළහ.
පරාර්ථ චර්යාවේ ප්‍රතිමූර්තියක් බඳු වූ අප ගුරු දේවෝත්තම නාහිමියෝ සකලාංගයෙන් ම බෝධිසත්ත්ව ගුණෝපේතයි.
ජීවන ගමනේ වසර 73ක් ඉක්ම වූ තැන තම ගුරු දේවයාණන් වහන්සේ පසුගිය 17 වැනිදා සියලු සසර දම් අනියත බව පසක් කරමින් අපවත්වී වදාළහ. අප ගුරු දේවෝත්තම අතිගෞරවාර්භ මාලේවන සෝභිත නාහිමිපාණන් වහන්සේට උතුම් වූ නිර්වාණාවබෝධය වේවා!

ශාස්ත්‍රපති ගලහා සුජාත හිමි
පරිවේණාධිපති, මාලේවන ශ්‍රී පඤ්ඤානන්ද පිරිවෙන, කුරුඳුවත්ත, බේරුවල

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT