Saturday, May 10, 2025
Home » මහපොළ අධ්‍යාපනික වෙළෙඳ ප්‍රදර්ශනයට යළි පණ දෙනවා

මහපොළ අධ්‍යාපනික වෙළෙඳ ප්‍රදර්ශනයට යළි පණ දෙනවා

-ඇමැති නලීන් ප්‍රනාන්දු

by sachintha
November 21, 2023 1:00 am 0 comment

මහපොළ අධ්‍යාපනික වෙළෙඳ ප්‍රදර්ශනය දෙසැම්බර් 13දා සිට ජා-ඇළ මහජන ක්‍රීඩාංගණයේදී

මහපොළ ශිෂ්‍යත්ව අරමුදල වෙනුවෙන් ලලිත් ඇතුලත්මුදලි මහතා විසින් ආරම්භ කරන ලද මහපොළ අධ්‍යාපන, වෙළෙඳ ප්‍රදර්ශනය හා සැණකෙළිය වසර 14කට පසු යළිත් ක්‍රියාත්මක කිරීමට වෙළෙඳ හා පාරිභෝගික අමාත්‍යාංශය කටයුතු කරන බව වෙළෙඳ පාරිභෝගික හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජා – ඇළ ඒකල ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකට එක් වෙමිනි.

මේ අනුව මහපොළ අධ්‍යාපනික වෙළෙඳ ප්‍රදර්ශනය හා සැණකෙළිය දෙසැම්බර් මස 13 සිට 17 වැනි දින දක්වා ජා – ඇළ මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. මෙහිදී ව්‍යාපාරිකයන් දැනුම්වත් කරමින් අදහස් දැක්වූ නලීන් ප්‍රනාන්දු ඇමැතිවරයා මෙසේද පැවසීය.මෙරට දුප්පත් මවුපියන්ගේ දරුවන් අධ්‍යාපනිකව ඉහළට ඔසවා තැබීමට අවශ්‍ය අරමුදලක් ආරම්භ කිරීමට දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතා විසින් ආරම්භ කළ මහපොළ අධ්‍යාපනික වෙළෙඳ ප්‍රදර්ශනය හා සැණකෙළිය විවිධ හේතු මත වසර 14ක පමණ කාලයක් ඇනහිට තිබුණා. මෙරට දුප්පත් මවුපියන්ගේ දරුවන් විශ්වවිද්‍යාලවලට තේරුණු පසු මූල්‍ය අගහිඟකම් නිසා විවිධ ගැටලුවලට මුහුණ දෙනවා. ඒ තත්ත්වය අවම කිරීමට ඇති මහපොළ ශිෂ්‍යත්ව අරමුදල අපි පුළුල් කර තවදුරටත් ඉදිරියට රැගෙන යා යුතුයි. අද වනවිට මේ මහපොළ අරමුදල නිසා විශ්වවිද්‍යාල සිසූ සිසුවියන් 65000ක් පමණ ප්‍රතිලාභ ලබනවා. එම අරමුදලේ මේ වනවිට රුපියල් බිලියන 17ක තැන්පතුවක් තිබෙනවා. වාර්ෂිකව එයට පොලිය වශයෙන් රුපියල් බිලියන 2ක් එකතු වෙනවා.

මේ මහපොළ ප්‍රදර්ශනය නිසා නව නිපැයුම්කරුවන්ට මෙන්ම ව්‍යවසායකයන්ටත් ඔවුන්ගේ නිෂ්පාදන වෙළෙඳපොළක් ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා. මේ සඳහා අපි විවිධ වර්ගයේ වෙළෙඳ කුටි 350ක් ඉදිකිරීම කරනවා. මහා පරිමාණ ව්‍යාපාරකයාගේ සිට සුළු ප්‍රමාණ ව්‍යාපාරිකයා දක්වා වෙළෙඳපොළක් මෙහිදී නිර්මාණය වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මහපොළ සැණකෙළිය පැවැත්වෙන දින පහේදී විවිධ අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ක්‍රියාත්මක කරන්න. ඒ අනුව පළමු දිනයේදී අධ්‍යාපනය වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. දෙවන දවසේ දී කුඩා කර්මාන්තකරුවන් ගැන අවධානය යොමු කරමින් කටයුතු කරනවා. තෙවැනි දිනය වෙන් වන්නේ තොරතුරු තාක්ෂණයටයි. හතරවන දින විලාසිතා නිර්මාණකරුවන්ට අවස්ථාව වෙන් කරනවා. පස් වැනි දිනය ආහාර හා ආහාර සුරක්ෂිතතාව ගැන ජනතාවට දැනුවත්වීමේ අවස්ථාව ලැබෙනවා.”

මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ නිලධාරීන් ඇතුළු සම්භාවනීයන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජා – ඇළ සමූහ ප්‍රසංග පෙරේරා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT