Sunday, May 11, 2025
Home » බාහිර පුද්ගලයන්ට මැතිසබේ කාරක සභා කාමර තහනම්

බාහිර පුද්ගලයන්ට මැතිසබේ කාරක සභා කාමර තහනම්

by sachintha
November 21, 2023 1:00 am 0 comment

පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් පැවැත්වෙන අවස්ථාවන් හි දී වෙනත් කිසිදු බාහිර පුද්ගලයකුට අවසර නොමැතිව එම රැස්වීම් කාමර තුළට ඇතුළුවීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.
පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමෙන් පසු මේ සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ කාරක සභා කාමරවලට ඇතුළුවිය හැක්කේ සාමාජික මන්ත්‍රීවරුන්ට, සභාපතිවරයාගේ විධිමත් අවසරය මත පැමිණෙන සාමාජික නොවන මන්ත්‍රීවරුන්ට, කාරක සභාවන්හි වැඩකටයුතු සඳහා කැඳවන වෙනත් බාහිර ආයතනවල නිලධාරින්ට හා කාරක සභාවන් හි කටයුතු කරන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරි මහත්ම මහත්මීන්ට පමණක් බවයි.
එමෙන්ම කාරක සභා සභාපතිවරුන් තමන්ගේ විෂය සීමාව ඉක්මවා කාරක සභාවේ වැඩකටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් තමා වෙත විවිධ අවස්ථාවල දී කරුණු වාර්තා වී ඇතැයි ද පැවසූ කථානායකවරයා පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් පුරා පැවැති සම්ප්‍රදායන් ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීමට සියලුම කාරක සභා සභාපතිවරුන් ස්ථාවර නියෝග අනුව බැඳී සිටින බව ද අවධාරණය කළේය.
පාර්ලිමේන්තු නිලධාරීන්ට අමතරව කාරක සභා සභාපතිවරුන් විසින් වෙනත් අයෙක් කාරක සභාවේ වැඩකටයුතු සඳහා ගෙන්වා ගන්නේ නම් ඒ සඳහා තමාගේ පූර්ව ලිඛිත අවසරය ලබාගත යුතු බව ද කථානායකවරයා පැවැසීය.
තවද කාරක සභාවල වැඩකටයුතු කරගෙන යන අවස්ථාවේ දී විවිධ අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත හෝ නොවන ආයතනවල රජයේ නිලධාරීන් කැඳවීමේ දී ඔවුන් අපහසුතාවයට පත් නොවන අයුරින් සහ අදාළ කාරක සභාව විසින් අනුමත කරන ලද කාරණා පමණක් සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදන නිකුත් කිරීමටත් වගබලා ගන්නා ලෙස කථානායකවරයා මෙහිදී දැනුම් දුන්නේය.
එමෙන්ම නිල ලිපි කිසිදු අවස්ථාවක දේශපාලන හෝ පෞද්ගලික කාර්යයන් සඳහා භාවිත නොකළ යුතු බවත් කථානායකවරයා මෙහිදී අවධාරණය කළේය.
ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT