Saturday, May 10, 2025
Home » මෙවර අය වැයේ ඉතා ආකර්ෂණීය යෝජනා තිබෙනවා

මෙවර අය වැයේ ඉතා ආකර්ෂණීය යෝජනා තිබෙනවා

by sachintha
November 21, 2023 1:00 am 0 comment

මෙවර අය වැය යෝජනා අතර, ඉතා ආකර්ෂණීය යෝජනා තිබෙන බවත් ඒවා වචනවලට පමණක් සීමා නොකර ප්‍රායෝගික යථාර්ථයක් කිරීමට පියවර ගත යුතු බවත් සමඟි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) පැවසුවේය. අය වැය දෙවැනි වර කියවීමේ හයවැනි දින විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.

අය වැය තුළින් රජයේ සේවකයන්ට වැටුප් වැඩිවීමක් ගැන කතා කළා. සුරක්ෂා රක්ෂණ ක්‍රමය ප්‍රායෝගික යථාර්ථයක් විය යුතුයි. ජනාධිපතිවරයා අගමැති කාලයේ මම ඉඩම් ඇමැතිවරයා විදියට හිටියා. ලක්ෂ 20කට ඉඩම් සින්නක්කර අයිතිය දීමට මුදල් අය වැයෙන් මෙවර වෙන් කර තිබෙනවා. එය ඉතාම හොඳ යෝජනාවක්. ඒවා යෝජනාවලට පමණක් සීමා නොවී යථාර්ථයක් කළ යුතුයි.

අයවැයේ අලුත් කතන්දර මොනවා කීවත් ආබාධ, වැඩිහිටි, වකුගඩු රෝගීන්ට දෙන දීමනා මාස තුනකින් පමණ ලැබී නැහැ. අධ්‍යාපනයට හා සෞඛ්‍යයට මුදල් වෙන් කරන ගමන් වැඩි මුදලක් ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශවලට වෙන් කර තිබෙනවා. බදු ගැසීම නිසා දෛනික ජීවිතය ගත කරන ජනතාව දැඩි අපහසුතාවට ලක්ව තිබෙනවා. කාන්තාවන්, ළමයින් ගැන ලොකු ප්‍රශ්න තිබෙනවා. කාන්තා හා ළමා අමාත්‍යාංශයට තිබෙන මුදල් පසුගිය වසරට වඩා මේ වර්ෂයේ අඩු කර තිබෙනවා යැයි ද හෙතෙම කීවේය.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT