Saturday, May 10, 2025
Home » දේශීය ආදායම්-සුරා බදු-රේගුවෙන් රජයට කෝටි දෙලක්ෂ තිස් නවදහසක බදු ආදායමක්

දේශීය ආදායම්-සුරා බදු-රේගුවෙන් රජයට කෝටි දෙලක්ෂ තිස් නවදහසක බදු ආදායමක්

by sachintha
November 21, 2023 12:08 am 0 comment

නිසි පරිදි රාජ්‍ය ආදායම එක්රැස් කර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ වැඩසටහන් හේතුවෙන් මේ වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් කෝටි 239,400ක (රුපියල් බිලියන 2,394) ආදායමක් එක්රැස් කර ගැනීමට හැකිව තිබෙන බව රජය අවධාරණය කරයි.
කෙසේ වුවද මේ වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වනවිට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම එක්රැස් කරන ප්‍රධාන ආයතන ත්‍රිත්වයෙන් රුපියල් කෝටි 310,100 (බිලියන 3,101)ක රාජ්‍ය ආදායමක් ඇස්තමේන්තු කර තිබෙන අතර එවැනි ඉලක්කයකට යාමට හැකි වන්නේ නම් රුපියල් බිලියන 3,000 (රුපියල් ට්‍රිලියන 3) සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වන බව ද ජනාධිපති කාර්යාලයේ ආර්ථික ස්ථායිකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.ජී. කුමාරතුංග මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (20) පස්වරුවේ පැවැති අය වැය සම්මන්ත්‍රණයට එක්වෙමිනි. 2024 අය වැය යෝජනාවලිය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කළ යුතු අංශ සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡාවට ලක්විය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඩබ්ලිව්.එම්.ජී. කුමාරතුංග මහතා පෙන්වා දුන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රධාන වශයෙන් රජයට ආදායම් එකතු කරන ආයතන ත්‍රිත්වය බවත් බදු ආදායම් සහ බදු නොවන ආදායම් වශයෙන් වාර්ෂිකව රජයට ආදායම් රැස්කරන බවත්ය.
පසුගිය 17දා වනවිට මේ වසරේ ගතවූ කාලය තුළ රාජ්‍ය ආදායම රුපියල් කෝටි 239,400ක් (රුපියල් බිලියන 2,394) වූ බව පෙන්වාදුන් ඒ මහතා එයින් රුපියල් කෝටි 141,500 (බිලියන 1,415)ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් සහ රුපියල් කෝටි 83,200 (බිලියන 832)ක් ශ්‍රී ලංකා රේගුව විසින් උපයා තිබෙන බව ද සුරාබදු දෙපාර්තමේන්තුව උපයා ඇති ආදායම රුපියල් කෝටි 14,700 (බිලියන 147)ක් බව ද පෙන්වා දුන්නේය.
කෙසේ වුවද මේ වසර අවසානය වනවිට මෙම රාජ්‍ය ආයතන ත්‍රිත්වයෙන් රුපියල් බිලියන 3,101ක ආදායමක් ඇස්තමේන්තු කර තිබෙන අතර ඉදිරි දින කිහිපය තුළ තවත් රුපියල් කෝටි 36,900 (බිලියන 369)ක් අපේක්ෂා කරන බව පෙන්වාදුන් කුමාරතුංග මහතා එයින් රුපියල් කෝටි 15,400 (බිලියන 154)ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ද රුපියල් කෝටි 13,600 (බිලියන 136)ක් ශ්‍රී ලංකා රේගුවෙන් ද වන අතර ඉතිරි රුපියල් කෝටි 3,300 (බිලියන 33) සුරාබදු දෙපාර්තමේන්තුවෙන් බව ද සඳහන් කළේය.
ඒ අනුව මේ වසරේ දෙසැම්බර් මස 31 වනවිට සමස්තයක් ලෙස රුපියල් කෝටි 271,900 (බිලියන 2,719) ක රාජ්‍ය ආදායමක් අපේක්ෂා කළ හැකි නමුත් 2023 වසරේ ඇස්තමේන්තු ඉලක්කය කරා ගමන් කිරීමට හැකි වන්නේ නම් එය ඉතිහාසයේ ඉහළම රාජ්‍ය ආදායම වාර්තා කිරීමක් බව ද පෙන්වා දුන්නේය.
රාජ්‍ය ආදායම තවදුරටත් ඉහළ නංවා ගැනීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලය විසින් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව පෙන්වාදුන් ඒ මහතා අද වනවිට ශ්‍රී ලංකා රේගුවේ දෛනික ආදායම රුපියල් කෝටි 500ක් පමණ වී තිබෙන බව ද රුපියල් කෝටි 300,000 (ට්‍රිලියන 3)ක ආදායම් ඉලක්කයක් වෙත ළඟාවීමට හැකි වන්නේ නම් එය ප්‍රාථමික අතිරික්තයක් දක්වා රටේ ආර්ථිකය නඟාසිටුවීමට හැකිවන බව ද පෙන්වා දුන්නේය.
මෙහිදී අදහස් දක්වමින් මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පෙන්වා දුන්නේ අද වනවිට රටේ ආර්ථිකය ස්ථාවර කිරීම වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙන බවත් ඒවායේ සාර්ථකත්වය මත මේ වසර අවසන් වනවිට සියයට 1.8ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කළ හැකි බවත්ය.
වෘත්තීය සමිති පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර, ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT