මධ්‍යම අප්‍රිකානු ජනරජයේ, එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් රාජකාරී කටයුතු සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා බළගණයේ 09 වන කණ්ඩායම විසිර යාමේ උත්සවය 11/20 දින උදෑසන ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේ දී පැවැත්වුණි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව, මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සංග්‍රාමික මෙහෙයුම්වලට දායකත්වය ලබා දීමට අමතරව භට පිරිස් ප්‍රවාහනය, ප්‍රභූ ප්‍රවාහනය, ආහාරපාන සහ භාණ්ඩ ප්‍රවාහනය, අභ්‍යන්තර ගුවන් ගමන්, පැරෂුට් මඟින් භාණ්ඩ ගොඩබෑම, වෛද්‍ය ප්‍රවාහන කටයුතු සඳහා සහාය දැක්වීම ද සිදු කරති.
මෙම සාම සාධක මෙහෙයුම් රාජකාරී සඳහා ශ්‍රී ලංකා හෙලිකොප්ටර් යානා බළගණයේ නිලධාරීන් 21 දෙනෙකු සහ සෙසු නිලයන් 89 දෙනෙකු මධ්‍යම අප්‍රිකානු ජනරජය බලා පිටත්ව යාමට නියමිතය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව, එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා මේ වන විට ගුවන් හමුදා සාමාජිකයන් 891 දෙනෙකු අන්තර්ග්‍රහණය කර ඇති අතර, ඒ මඟින් අමෙරිකානු ඩොලර් මිලියන 120ක් මෙරට භාණ්ඩාගාරය වෙත ලබා දීමට කටයුතු කර තිබේ.
කටුනායක – ටී. කේ. ජී. කපිල