පුටුවල වාඩි වී සිටින ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට රටේ ජනතාවගේ අමාරුකම් තේරෙන්නේ නැතැයි කම්කරු සහ විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා (19) ගාල්ලේ දී පැවසීය.
ගාල්ල තලාපිටිය මුස්ලිම් මස්ජිද් සිද්ධස්ථානයට අවමංගල රථයක් ප්‍රදානය කිරීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
එහිදී ඇමැතිවරයා මෙසේද පැවසීය. ගිය වසරේ තුන්ලක්ෂ දොළොස් දහසක් විදේශ ගත වෙලා තිබෙනවා. මේ අවුරුද්දෙත් ලක්ෂ තුනකට ආසන්න පිරිසක් මේ වනවිට විදේශ ගතවෙලා. පසුගිය මාස 18ක කාලයේ ලංකාවට ඩොලර් බිලියන හතයි දශම හයක ආදායමක් විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් ලැබී තිබෙනවා.
විදෙස්ගත ශ්‍රමිකයන්ට ගුවන් තොටුපොළේදී අවශ්‍යය පහසුකම් දී තිබෙනවා. ඒ අයට සුබසාධනය සලසා තිබෙනවා. නිවාස සාදා ගැනීමට අවශ්‍ය පහසුකම්, අතිරේක තීරු බදු ලබා දී තිබෙනවා. වාහනයක් ගෙන්වීමට අවශ්‍ය වටපිටාව ඇති කරදී තිබෙනවා. මේවා අමාරුවෙන් කරන වැඩ.
පුටුවල වාඩි වී සිටින ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට රටේ මිනිසුන්ගේ අමාරුකම් තේරෙන්නේ නැහැ. රට වෙනුවෙන් විදේශගත ශ්‍රමිකයන් සල්ලි එවා රටට දෙන දායකත්වය තේරෙන්නේ නැහැ. ඒ අය කියන්නේ රටේ දැන් ඩොලර් ප්‍රශ්නයකුත් නැති එකේ විදෙස් ගත ශ්‍රමිකයන්ට සලකන්න ඕනෑ නැහැ කියන මතයක් තිබෙන ඇතැම් රාජ්‍ය නිලධාරීන් ඉන්නවා.
රාජ්‍ය නිලධාරීන් මොන වගේ දේවල් කළත් ඒ අයගේ වැටුප ලැබෙන නිසා ඒ පිරිසට ජනතාවගේ පරිප්පු කිලෝවෙන් සීනි කිලෝවෙන් ලැබෙන බදුවලින් වැටුප් ලැබෙන නිසා ඒ අය වැරදි තීන්දු තීරණ ගන්නවා. අපි ඉදිරියේ දී එවැනි නිලධාරීන් රටට හඳුන්වා දෙනවා ඒ අය කවුද කියලා. එවිට කවුද මේ රට ඉස්සරහට ගෙනියන්න දෙන්නේ නැත්තේ දේශපාලනඥයන් ද? ඇතැම් නිලධාරීන් ද? කියන එක රටේ ජනතාවට තීරණය කරන්න පුළුවන්.
ගාල්ල උතුර සමූහ – දික්වැල්ලේ තිලකරත්න