Saturday, May 10, 2025
Home » දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ආදායම් උත්පාදනයට

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ආදායම් උත්පාදනයට

-මේ අය වැයෙන් මිලියන 100ක් වෙන් කර තිබෙනවා - රාජ්‍ය ඇමැති නීතිඥ සිසිර ජයකොඩි

by sachintha
November 21, 2023 1:00 am 0 comment

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ආදායම් උත්පාදනය කිරීමේ මාර්ගවලට රුපියල් මිලියන 100ක මුදලක් මෙවර අය වැයෙන් අතිරේකව ආයුර්වේද සංස්ථාවට ලබා දීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති නීතිඥ සිසිර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) පැවසීය.

දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැතිවරයා ලෙස තමා කළ ඉල්ලීමක් සලකා බලා මේ මුදල ආයුර්වේද සංස්ථාවට ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බව ද රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.

අය වැය දෙවැනි වර කියවීමේ හයවැනි දින විවාදයට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසීය.

රාජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවේය.

ඉතාම දුෂ්කර කාලයක ජනාධිපතිවරයා අය වැය ඉදිරිපත් කර තිබෙනවා. කොවිඩ් වසංගත තත්ත්වය තුළ රටක් විදිහට ඉතා විශාල මුදලක් වැය කළා. වසර එක හමාරක කාලයක් එකල රට වසා තැබුවා. ඒ කාලයේ දී ඇතැම් කොටස් රට වසන්න ඉල්ලීම් කළා. ඒ අවස්ථාවේ ගෝඨාභය ජනාධිපතිවරයා කීවේ රට වැසුවොත් ආර්ථික ගැටලු ඇති වෙන බව. නමුත් රට කඩා වැටුණත් රට වසන්න කියලා ඇතැම් පිරිස් තදින්ම සිටියා. ඒ කාලය තුළ ආදායම් උත්පාදන මාර්ග සියල්ල අහිමි වුණා. ඒ ඉතිහාසය අමතක කරමින් විපක්ෂයේ ඇතැම් පිරිස් කතා කරන විදිහ ගැන කනගාටුයි. නීතිඥවරුන්, වෛද්‍යවරුන්, ආචාර්ය මහාචාර්යවරුන් රටට කොතරම් බදු ගෙවා තිබෙනවාද කියලා අපි අහනවා. රාජපක්ෂවරුන්ට පමණක් රටේ ආර්ථිකය බංකොලොත් වීම පවරන්නේ නම් එය නිවැරැදි නොවේ. විවිධ පෞද්ගලික සමාගම්වල හා මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ උපදෙස් සේවා සපයන්නේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේම නිලධාරීන්. රජයට බදු ගෙවනවා වෙනුවට බදු නිලධාරීන්ට කීයක් හරි දීලා නිදහස් වෙන්න පෞද්ගලික සමාගම් ඇතුළු ව්‍යාපාරිකයන් කටයුතු කරනවා.

රේගු, සුරාබදු, ආදායම් බදු නිලධාරීන්ගේ වත්කම් සොයා බැලිය යුතුයි. ඔවුන් බදු ගෙවනවාද යන්න සොයා බැලිය යුතුයි. මේවා සොයා නොබැලීම නිසා රටට හිමි විය යුතු බදු බොහෝ ප්‍රමාණයක් අහිමි වෙනවා. රුපියල් බිලියන ගණන් විදේශ මුදල් රටට අහිමි වෙනවා. විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම් අහිමි කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරනවා. එවැනි අයගේ දේශප්‍රේමයක් නැහැ. මෙරට විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් රටට ගලා ඒම සඳහා යම් සහනදායී කොන්දේසිත් ඇතැම් නිලධාරීන් හවුල් වෙලා තම තමන්ගේ පෞද්ගලික වාසිවලට යොදා ගෙන තිබෙනවා. බදු සහනයක් ලබා දුන්නා. බදු සහනයෙන් 450කට වැඩි වාහන විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් ලංකාවට ආනයනය කළා. ඒ බදු සහනය උපයෝගී කර ගත්තේ ඇතැම් නිලධාරීන් සමඟ එක් වූ ඇතැම් ව්‍යාපාරිකයන්. ඒක රහසක් නෙවෙයි. මේ පාර්ලිමේන්තුවේ 225න් කිසි කෙනෙක් එවැනි වාහනයක් අරගෙන නැහැ. ඉලෙක්ට්‍රික් වාහන ගත්තේ නැහැ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අපි ඇඟිල්ල දික් කරනවා. මේකට මුදල් අමාත්‍යාංශයත් හවුල්. ඒ ප්‍රතිලාභය විදේශ ශ්‍රමිකයන්ට ලැබිය යුතු දෙයක්. ඉලෙක්ට්‍රික් බෙන්ස් ගෙන්වූවා. ඒවා සැබැවින්ම විදේශ ශ්‍රමිකයන් අතටම පත් වුණාද කියන ගැටලුව තිබෙනවා. අප විසින්ම රටට ලැබිය යුතු මුදල් අහිමි කරගෙන තිබෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT