කොට්ට උරයක් අනිත් පැත්ත හරවනවා වගේ ආර්ථිකය වෙනස් කළ යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථා දෙකකදී ප්‍රකාශ කර ඇති අතර කොට්ට උරේ දෙපාරක් අනිත් පැත්ත හැර වූ විට තිබූ පැත්තටම හැරෙන බව ජාතික ජන බලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) පැවසීය.
අය වැය දෙවැනි වර කියවීමේ හයවැනි දින විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.
මෙවර අය වැයත් කොට්ට උරය දෙපාරක් පැත්ත හැරවූවා වගේ. රාජ්‍ය දේපොළ විකිණිය යුතු බවට මේ අය වැයෙන් ප්‍රකාශ කරනවා.
අය වැය ලේඛනයේ කොතැනකවත් ශක්තිමත් විදෙස් ආයෝජන ගෙන ඒම ගැන සැලැස්මක් නැහැ. එකම අරමුණ තිබෙන දේවල් විකිණීම. ආයෝජන කැඳවිය යුතුයි. එසේ කැඳවිය යුත්තේ ඩොලර් උපයා ගැනීමට. රාජ්‍ය ආයතන පාඩුයි කියනවා. ලංකා බැංකුවේ කොටස් වෙළෙඳ පොළට නිකුත් කිරීමට ආණ්ඩුව සැලසුම් කරලා තිබෙනවා. රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය කිරීමට ආණ්ඩුව උත්සාහ දරනවා.
ශක්තිමත් මූල්‍ය වෙළෙඳපොළක් හදා ගැනීමට උත්සාහ ගත යුතුයි. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ගුවන් තොටුපොළ ආදායම් ලබනවා. ඒවා විකිණිය යුතු නොවේ. අපේ රටට ආයෝජන කැඳවිය යුතු තැන් තිබෙනවා. ඒ තැන් හඳුනාගෙන ඒවාට ආයෝජන සැලසුම් කළ යුතුයි. ආර්ථිකය කඩා වැටෙන්නට හේතු මොනවාද කියලා ජනතාවගෙන් ඇහුවොත් ඔවුන් එකහෙළාම කියනුයේ රට තුළ තිබෙන වංචා දූෂණ කියලා.
රාජපක්ෂවරුන්ට දේශපාලන විරෝධය තිබෙන්නේ යුද්ධය අවසන් කළාට නොවෙයි. යුද්ධය අවසන් කර රටට විශාල සුද්දයක් දීම නිසා. ආර්ථිකය කඩා වැටෙන්නට ඒ සුද්දය හේතු වෙලා තිබෙනවා. වංචා, දූෂණ නතර කිරීමකින් තොරව රට සංවර්ධනය කළ නොහැකියි.