Tuesday, December 5, 2023
Home » රටේ ආර්ථික ගමන දැන් හරිපාරේ යද්දී විපක්ෂය සිටින්නේ හරිම බයෙන්

රටේ ආර්ථික ගමන දැන් හරිපාරේ යද්දී විපක්ෂය සිටින්නේ හරිම බයෙන්

- හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ

by sachintha
November 21, 2023 1:00 am 0 comment

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය කාලපරිච්ඡේදවල මෙන්ම මෙවරත් හොඳින් ආර්ථිකය කළමනාකරණය කර ගනිමින් රටේ ආර්ථික ස්ථාවරත්වය ගොඩනැඟීමට ගෙනයන වැඩපිළිවෙළට විපක්ෂය සෑහෙන්න බය වී ඇතැයි ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පැවසීය. සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී ආශු මාරසිංහ මහතා මෙසේද කීය.

මේ වන විට පාර්ලිමේන්තුවේ දී අය වැය සම්බන්ධ විවාදය පැවැත්වෙනවා. හෙට දිනයේ දෙවැනි වර කියවීමේ ඡන්දය පැවැත්වීමට නියමිතයි. ආර්ථික විද්‍යා දැනුම සහිත කිසිදු පුද්ගලයෙක් මේ අය – වැය කරගෙන යන්න බැරි අපහසු යෝජනා සහිත අය වැයක් බව ප්‍රකාශ කර නැහැ. ඒ ගැන අප සතුටට පත්විය යුතුයි. අගමැතිවරයෙක් ලෙස සිටිය කාලයේදී වගේම, අද වන විටත් ජනාධිපතිවරයා ආර්ථිකය ගැන තමන්ගේ ඇති සංවේදීභාවය, උත්සාහය සහ දැක්මෙන් මේ රට, වසරක් වැනි කෙටි කාලයක් ඇතුළත බංකොලොත්භාවයෙන් මුදාගෙන යම් ස්ථාවරත්වයකට පත් කර ජනතාවට නැඟී සිටිය හැකි වාතාවරණයක් ඇති කර තිබෙනවා.

අන්ත දුගීබවේ ඉන්න ජනතාවට සහන දුන් අය වැයක් විදිහට මෙය සඳහන් කරන්න පුළුවන්. ලිපිනයක් නැතිව හිටිය මිනිස්සුන්ට ලිපිනයක් දී තිබෙනවා. නිවාස අයිතිය, හිමිකම ලබා දීම දරිද්‍රතාවෙන් පීඩාවට පත්වූ ජනතාවට දුන්න විශාල සහනයක් ලෙස සලකන්න පුළුවන්. ඒ වගේම ඉඩම් අයිතිය හිමි වෙලා තිබුණේ නැති ජනතාවට තමන්ට ඉඩමක්, ඒ ඉඩමට ලිපිනයක් හිමි වෙනවා. එයත් දුප්පත් ජනතාවට දුන් විශාල ජයග්‍රහණයක්. ඉඩම් සහ නිවාස අයිතිය හිමිවීමත් සමඟම එය ආර්ථිකයට එකතු වන අලුත් දෙයක් වෙනවා. ඒ නිසා ජනතාවට ඉඩම් සහ නිවාස අයිතිය ආර්ථිකමය සාධකයක් විදියට පාවිච්චි කිරීමේ හැකියාව ලැබෙනවා.

කලින් පැවති රජය 2015 දී ආරම්භ කළ සුරක්ෂා රක්ෂණය නැවතත් 2024 වසරේ සිට ශිෂ්‍යයන් වෙනුවෙන් ආරම්භ කරනවා. ඒ අනුව පෞද්ගලික සහ රජයේ පාසල්වල ශිෂ්‍ය ප්‍රජාවට ඒ ප්‍රතිලාභය හිමිවෙනවා. ලක්ෂ දෙකක් දක්වා වෛද්‍ය ආධාර ලබා ගැනීමේ හැකියාව ශිෂ්‍යයන්ට හිමිවෙනවා. මේ වෙනස්කම් ග්‍රාමීය ආර්ථිකයට එකතු වුණාම ග්‍රාමීය ආර්ථිකයේ විශේෂ පිබිදීමක් ඇති වෙනවා.

2023 වර්ෂයේ අප ට්‍රිලියන තුනකට වඩා වැඩි රාජ්‍ය ආදායමක් අපේක්ෂා කළා. අප අපේක්ෂා කළ ආදායමෙන් ට්‍රිලියන 2.9ක ආදායමක් ලබා ගැනීමේ හැකියාව පවතීයැයි අප උපකල්පනය කරනවා. ගිය ඔක්තෝබර් 30 වැනිදා අවසන් වන විට රුපියල් බිලියන 2300කට වැඩි රාජ්‍ය ආදායමක් උපයා ගැනීමට අපට හැකියාව ලැබී තිබෙනවා. ඒ නිසා ඉදිරි මාස දෙකේ බිලියන 600ක් විතර පුරෝකථනය කළ ඉලක්කයක් රජයට තිබෙනවා.

සාමාන්‍යයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් රාජ්‍ය ආදායම සියයට 11ක් පමණ මට්ටමකට යෑම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අප වෙත දුන් පුරෝකථනවල සඳහන්. ඉදිරි මාස දෙකේ සාර්ථක කර ගත්තොත් අපට ආදායම් වියදම් පරතරය ඉතා ම අඩු මට්ටමකට ගෙන ඒමේ හැකියාව තිබෙනවා.

 

ශිරෝමි අබයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT