කඩයමෝට්ට ගම්වාසීහු ප්‍රා. සභා උප කාර්යාල වටලති
පොලිසිය ඇවිත් කොටසක් ගමට තියා අනෙක්වා දීලා
කල්පිටිය ප්‍රාදේශීය සභාවට අයත් මදුරන්කුලිය කඩයමෝට්ට උප කාර්යාලයේ තිබූ බෝක්කු කැට තොගයක් ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීවරයකු රැගෙන යෑමට සැරසෙද්දී කඩයමෝට්ට ගම්මානයේ පිරිසක් කඩා වැදී අදාළ කාර්යාලය වට කර ඇති වන්නට ගිය ගැටුමක් මදුරන්කුලිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් මැදිහත්ව වළක්වා ගැනීමට සමත්ව තිබුණි.
කඩයමෝට්ට උප කාර්යාලයේ තිබූ කොන්ක්‍රීට් බෝක්කු කැට තොගයක් කල්පිටිය ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීවරයකු ඔහු නියෝජනය කරන ප්‍රදේශයට රැගෙන යෑමට ලොරි රථ දෙකකින් පැමිණීමත් සමඟ ගැටුම්කාරී තත්ත්වයක් මතුව තිබූ බව පොලිසිය පැවසීය. අදාළ ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීවරයා නිවාඩු දිනකදී මෙම බෝක්කු කැට රැගෙන යෑමට පැමිණීමත් සමඟ ගම්වාසීන් චෝදනා කළේ ඔහු එ්වා කූට ලෙස රැගෙන යෑමට පැමිණ ඇති බවයි. ඒ හේතුවෙන් 200කට ආසන්න පිරිසක් කඩයමෝට්ට උප කාර්යාලය ඉදිරිපිටට කඩා වැදී කලහාකාරි ලෙස හැසිරීමට පටන්ගෙන තිබුණි. අදාළ ස්ථානයට මදුරන්කුලිය පොලිස් ස්ථානයෙන් නිලධාරීන් පිරිසක් පැමිණ තත්ත්වය වළක්වාලීමට උත්සාහ කර තිබුණ ද එය අපහසු වී තිබේ.
ඉන් පසුව මදුරන්කුලිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණී වික්‍රමසිංහ මහතා පැමිණ පිරිස කැඳවා මේ පිළිබඳව විමසා කල්පිටිය ප්‍රාදේශීය සභාවේ ලේකම් මංගල රාමනායක මහතාට දුරකතනයෙන් අමතා මෙම ගැටලුවට පිළිතුරු ඉල්ලා සිටි අතර, එහිදී ලේකම්වරයා අදාළ ගම්මානයේ අවශ්‍යතාවය සඳහා බෝක්කු කැට 8ක් ඉතිරි කර අනෙක් කැට 10 හිටපු මන්ත්‍රීවරයාගේ ඉල්ලීම මත රැගෙන යෑමට අවස්ථාව ලබා දී ඇත. එයින් පසුව ද පිරිස නැවතත් කලහාකාරී ලෙස හැසිරීමත් සමඟ මදුරන්කුලිය පොලිස් ස්ථානාධිපතිවරයා පිරිසට තත්ත්වය පැහැදිලි කර දී තත්ත්වය පාලනය කිරීමට කටයුතු කළේය.
ඉන් පසුව හිටපු මන්ත්‍රීවරයා රැගෙන පැමිණි ලොරි රථ දෙකකට බෝක්කු කැට 10ක් ලබා දී පොලිස් ආරක්ෂාව මැද එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට පියවර ගෙන ඇත.
පුත්තලම අතිරේක
හිරාන් ප්‍රියංකර ජයසිංහ