වෙන්නප්පුව පොලිස් වසමට අයත් නයිනමඩම ප්‍රදේශයේ වෙළෙඳ සැලකට ඇතුළු වී රුපියල් හාර ලක්ෂ අසූපන්දහසක් කොල්ලකන ලද කොල්ලකරුවන් දෙදෙනෙක් හා එහි සේවිකාවක් වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඉකුත් 17 වැනිදා රාත්‍රියේ මෙම කොල්ලය සිදු වී ඇති අතර සිදු කළ විමර්ශණවලදී වෙළෙඳ සැලේ සේවිකාව හා කොල්ලයට පැමිණි සැකකරුවන් දෙදෙනා සැලසුම් සහගතව මෙම සොරකම සිදු කර ඇති බව හෙළි වී ඇත.
කොල්ලය සිදු වන අවස්ථාවේ සිද්ධියට සම්බන්ධ වෙළෙඳ සැලේ සේවිකාව සමඟ තවත් සේවිකාවක් එහි රැඳී සිට ඇති අතර ඇයට මෙම සිද්ධිය සැක නොහිතන අන්දමින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනා සිද්ධියට සම්බන්ධ සේවිකාවට පහර දී මුදල් රැගෙන පලාගොස් තිබේ.
යතුරුපැදි සොරකමක් සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙක් යතුරුපැදියක් සමඟ අත්අඩංගුට ගැනීමෙන් පසු ප්‍රශ්න කිරීමේදී එම යතුරුපැදියෙන්ම පැමිණ මෙම කොල්ලය සිදු කර ඇති බව අනාවරණය වී තිබේ.
සැකකරුවන් දෙදෙනා දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව ද හෙළි වී ඇති අතර එක් සැකකරුවෙකු වෙළෙඳ සැලේ සේවිකාව හා ඥාති සම්බන්ධයක් ඇති බව ද හෙළි වී තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් බෝලවත්ත ප්‍රදේශයේ පදිංචි අය වෙති.
වෙන්නප්පුව පොලිසිය පරීක්ෂණ සිදු කරයි.
මාරවිල සමූහ – මිහිර විජේසේකර