ක්‍රිඩාවලින් දක්ෂතා දක්වන ඉතා දුෂ්කර ගම්බද පාසලක් වන කොත්මලේ අධ්‍යාපන කලාපයට අයත් මාවෙල පාසලේ දරුවන්හට එම ක්‍රීඩා ඉසව් පුහුණුවීමට උපකරණ හා ස්ථානයක් නොමැති කමින් සිසුන් දැඩි පීඩාවකට පත්ව සිටිති. වසර 83ක් පැරණිම මෙම පාසල පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පැවැත්වෙන අතර සෑම අංශයකම පවතින අඩුපාඩු නිසා දරුවන්ට ඉදිරියට යාමට නොහැකි තත්ත්වයක් පවතින බව දෙමාපියෝ පවසති.
අතීතයේ පැවති ගම්බද ප්‍රාථමික අධිකරණ ගොඩනැගිල්ලක මෙම පාසල පැවැත්වෙන අතර ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් එක හමාරක් පමණ කොත්මලේ ජලාශය පෙදෙස දක්වා ගමන් කිරීමේ දී මෙම පාසල හමු වන්නේ ය.
වර්තමාන විදුහල්පති බණ්ඩාර වැලිකඩගෙදර මහතා දරුවන්ගේ දක්ෂතා දැක අධ්‍යාපන පසුබිම සකස් කරන අතර තුර කිලෝමීටර ගණනක් පාගමනින් පැමිණෙන දරුවන්ගේ ක්‍රීඩා දක්ෂතාවයද නැංවීමට කටයුතු කර තිබේ. ඒ සඳහා ක්‍රීඩා පුහුණුකරු චානක සමරතුංග හා ක්‍රීඩා භාර ආචාර්ය සසිකා කෞෂල්‍යාගේ නොමද සහාය ද ලබාගෙන ඇත. මේ වන විට සසිකා ගුරුතුමිය ප්‍රසූත නිවාඩු ලබාගෙන තිබුණත් ක්‍රීඩා පුහුණු භාර චානකගේ මනා කැපවීම නිසා මෙම දුෂ්කර පාසලේ කබඩි කණ්ඩායම සමස්ත ලංකා ක්‍රීඩා තරඟාවලියේ දෙවන ස්ථානයත්, මලල ක්‍රීඩාවෙන් කලාප මට්ටමින් දෙවන ස්ථානයත්, ජෝන් ටාබට් තරගාවලියේ කවපෙත්ත අංශයේ දෙවන ස්ථානයත් ලබා ඇති අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙස පාසලේ 10 ශ්‍රේණියේ සදරු අභිලාස් තේරී පත් වීමටත් දායක වී ඇත.
මෙවැනි දක්ෂතා ඇති පාසලක් වුව ද මෙම ක්‍රීඩකයන්ට පුහුණුවීම් සඳහා මීටර 100ක ධාවන පථයක් සහිත ඉඩකඩක් නොමැත. පාසලට හිමි කුඩා ක්‍රීඩාපිටිය ගල් බොරළු මඩ වළවල් හා ගොඩලිවලින් සමන්විත අතර මෙහි පුහුණුවීම් කරන මේ ක්‍රීඩකයෝ දින පතාම ආබාධ හා අනතුරට ලක් වන්නේය. පාසල් කබඩි කණ්ඩායම ජාතික මට්ටමේ ජයග්රහණයන් ලැබුවද ඔවුන්ට පුහුණු වීමට අවශ්‍ය සියලු උපකරණයන් මෙම පාසලේ නොමැත. කබඩි ක්‍රීඩාව පුහුණුව තටාමී මත (කාපට්) සිදුකළ යුතු උවත් පාසලේ එය සිදු කරන්නේ ගල් බොරළු සහිත පාසල් බිමේ ය. එසේ ම පුහුණුවට අවශ්‍ය ට්රකලින් බෑගය සාදාගෙන ඇත්තේ පරණ මෙට්ටයක් දෙකට නමා පිටි බෑගයකට දමා ගෙනය. එය ද මේ වන විට ඉරී ගොස්ය. එසේම මලල ක්‍රීඩාවලට අවශ්‍ය ආරම්භක පුවරු, ධාවන පත මෙන්ම කවපෙත්ත, යගුලිය, උසපනින මෙට්ට, හෙල්ල ඇතුළු සියලු උපකරණ නොමත. ළමුන්ගේ පෝෂණ මට්ටම ද නොමැති අතර ප්‍රදේශයේ දුප්පත් දෙමව්පියන්ට ඒ සඳහා වැය කිරීමට මුදල් නොමති බවද ඔවුහු පවසති.
ක්‍රීඩා පුහුණු උපකරණ හා ස්ථානයක් නොමැති නිසා මොවුන් මාවෙල සිට යාමට ඒමට කිලෝමීටර 64ක දුර නාවලපිටිය ජයතිලක ක්‍රීඩා පිටිය වෙත සතියකට තුන් පාරක් පමණ යන අතර ඒ සඳහා එක් ළමයෙකු රුපියල් දෙදහසක පමණ එක් දිනකට වැය කිරීමට සිදු වුවද එම මුදල් සොයා ගැනීමට මෙම දෙමව්පියන්ට නොහැකි බව ද පවසති. අවශ්‍ය ඇඳුම් පැළඳුම් නොමැති අතර පුහුණුවීම් සඳහා අවශ්‍ය සපත්තු ජෝඩුවකට වැය කිරීමට අවශ්‍ය රුපියල් 15000ක මුදල කෙසේවත් දරාගැනීමට නොහැකි බවද පවසති. තරග තිබෙන කාලයට මොවුන් මේවා වෙනත් අයගෙන් ඉල්ලා ගන්නා බව ද පවසති. මෙම සිසු දරුවන් පාසල් විවේක කාලයේදී පාසල තුළ අයිස් ක්‍රීම් විකුණා ක්‍රීඩාවට අවශ්‍ය සුළු මුදලක් සොයන අතර ඒ සඳහා විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයේ ද නොමද සහාය ලැබී තිබේ. ක්‍රීඩා පුහුණුකරු චානක සමරතුංග පවසන්නේ මෙම දරුවන්ට අවශ්‍ය පහසුකම් හා පෝෂණය ලැබෙන්නේ නම් ජාතික මට්ටමේ නොව ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා ඔවුන් තුළ ඇති බවය.
ගම්පොළ සමූහ – සුරංග දිල්හාන්