චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු තම දේශපාලන බලය හා සමාජ පිළිගැනීම අයුතු ලෙස භාවිතා කරමින් කොට්ටාව බටහිර ග්‍රාම නිලධාරී වසමේ බෝගහවත්ත ප්‍රදේශයේ පර්චස් තිහක පමණ කුඹුරු යායක් අනවසරයෙන් ගොඩකොට ස්ථීර භෝග වගා කිරීමෙන් ඒ ආශ්රිත ගොවිතැනෙහි නියුතු තමන් ඇතුළු විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව කොට්ටාව බටහිර බෝගහවත්ත එකමුතු ගොවි සංවිධානයේ හිටපු සභාපති පී. ආරියපාල මහතා පවසයි.
වසර අටක පමණ සිට සිදුවන මෙම අනවසර ගොඩකිරීම සම්බන්ධයෙන් කොතෙකුත් බලධාරීන් දැනුවත් කළ ද ඊට විසඳුම් නොලැබුණු බවත් මේ වන විට වගාකළ කොස් ගස්වල ඵලදාව පවා භුක්ති විඳිමින් සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
හෙතෙම මේ බව පවසා සිටියේ කොට්ටාව බෝගහවත්ත ප්‍රදේශයේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඉකුත්දා එම ප්‍රදේශයේදී කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී තව දුරටත් අදහස් දක්වමින් පී. ආරියපාල මහතා මෙසේද පවසා සිටියේය.
“මේ කුඹුරු යායේ අක්කර 100ක් පමණ තියෙනවා. එය කොට්ටාව, රුක්මල්ගම, පන්නිපිටිය, ලියනගොඩ හරහා දිව යන්නෙ. එහි ජලය දියවන්නා ඔයට තමයි ගලා බසින්නෙ. මේ කුඹුරු යායෙන් පර්චස් 120 මිලදී ගත්ත මේ රටේ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. (2015දී පමණ) ඔහු කන්න දෙකක් විතර වගා කරල ඊට පස්සේ ගොඩ භෝග වගා කරන්න පටන් ගත්තා.
මුලින්ම වගාවට වතුර ගන්න කියලා පර්චස් 12ක පමණ කොටසක බැකෝ දාලා වගා ලිඳක් හෑරුවා. ඒකෙන් ගොඩදාපු මඩ වටේ තුනී කරලා තවත් පර්චස් දහයක පමණ කොස්, කුඹුක්, අනෝදා වැනි විශාලයට වැවෙන ගස් හිටෙව්වා. මේ නිසා පහළ යායෙ කුඹුරු වගා කරන ගොවීන්ට ජලය ලබා ගැනීමේදී බාධා එල්ල වුණා. ඊට පස්සේ මේ සම්බන්ධයෙන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව දැනුවත් කළා. නමුත් උනේ ගඟට ඉනි කැපුවා වගේ වැඩක්. දැන් අවුරුදු අටක් තිස්සේ බලධාරීන් දැනුවත් කරනවා මේ වෙනකන් නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ. මේ වෙනකොට හිටවපු ගස්වල ඵලදාව පවා බුක්ති විඳිනවා.”
එම ගොවි සමිතියේ තවත් හිටපු සභාපතිවරයෙකු වූ කේ.ජනක් දුමින්ද මහතා මෙසේ පවසා සිටියේය.
“ මේ පුද්ගලයා මේ රටේ සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. අපි හිතුවා ඔහු මේ ගමට ආවහම අපේ ගමට ආලෝකයක් වෙයි කියලා, නමුත් මඩ සෝදා ගත් කල රජකමටත් සුදුසුයි කියපු ගොවියට උනේ මහ පාරට බහින්නයි. ඔහු රටට සමාජයට ආදර්ශමත්ව ජීවත් වෙයි කියලා හිතුවාට දැන් ඔහු අපිට කොඩිවිනයක් වෙලා. මේ සම්බන්ධයෙන් අපි අවස්ථා කීපයකදී ඔහුව දැනුවත් කළත් කුඹුර ගොඩ කරන වැඩේ නැවැත්තුවෙ නෑ. පසුව අපි ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙ ඉහළ බලධාරීන් දැනුවත් කළා. ඒ හැම වෙලාවෙදිම දෙපාර්ශ්වය කැඳවල පැමිණිල්ල විභාග කරද්දි වෙන්නේ මේ පුද්ගලයා ඉහළ දේශපාලන අධිකාරියට කතා කරල ජංගම දුරකතනය පැමිණිල්ල විභාග කරන නිලධාරීන්ට දීල අපි ඉස්සරහම සහන ලබා ගැනීමට කටයුතු කිරීමයි.
පසුව බැරිම තැන සරත් වීරසේකර ඇමතිතුමාව දැනුවත් කළාට පස්සෙ ඔහු කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට පවා මේ ගැන දැනුවත් කළා. ඊට පස්සෙ ආරම්භ කළ පරීක්ෂණවලදී ඉහළ නිලධාරීන් ඉල්ලා සිටින වාර්තා වැරදි සහගතව ඉදිරිපත් කරමින් ගමේ ගොවි නියාමකවරයා ඉහළ නිලධාරීන්ව නොමඟ යැව්වා.”
මේ සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරී මාධ්‍යවේදි ශාන්ත කේ.හේරත් මහතා මෙසේ පවසා සිටියේය.
“රුක්මළේ හා කොට්ටාවේ සිට පැමිණ වී හැඩයෙන් පන්නිපිටිය බෝගහවත්ත ප්‍රදේශයේදී පුනීලයක හැඩරුවෙන් දියවන්නාව දක්වා දිවෙන අක්කර 100ක පමණ කුඹුරු යායක් මේක. මේ කුඹුරු යායෙන් පර්චස් 120ක් මේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයා මිලට අරගෙන තමයි මේ වෙනකොට පර්චස් 30ක් පමණ ගොඩකරලා තියෙන්නෙ. වෙල මැද්දෙ හිටවපු ගස්වල ඵලදාවත් ගන්නවා.
ජාත්‍යන්තර තෙත්බිම් සුරැකීමේ සම්මුතියේ (රැම්සා) සිතියම්වලද සටහන් සුවිශේෂී ස්ථානයක තමයි මේ කුඹුරු යාය පිහිටා තියෙන්නෙ. 2016 වසරේ සිට ගොඩකිරීමේ තර්ජනයට ලක්ව ඇති මේ සිද්ධිය ප්‍රදේශයේ ප්‍රජා සංවිධාන හෝ වගකිවයුතු ආයතන දැනුවත් කළත් මේ දක්වා ප්‍රතිඵලයක් සිදු වෙලා නැහැ.
චිත්‍රපට අධ්‍යක්ෂකවරයාට දින 20ක් දුන්නා ගොවිජන සේවාවේ නිලධාරීන් ගොඩ කරන්න කියලා ලබා දුන් අවරපත්රය ඉදිරිපත් කරන්න. නමුත් එය ඉදිරිපත් කිරීමට මේ දක්වා බැරි වෙලා තියෙනවා. මේ පුද්ගලයාගේ හිතවතියකගෙ කුඹුරට යාමට පාරක් දමාගැනීමට පසුගිය දිනවල ඔහු උත්සාහ කළා. එහිදී ඔහු පැවසුවේ වෙල්යායට යන්ත්‍රෝපකරණ ගෙන යන්න මේ පාර හදනවා කියලා. නමුත් කොළඹ ගොවිජන සේවා කොමසාරිස්තුමා පැවසූවේ කුඹුරු යායේ මැද ඇළට සමාන්තරව කුඹුරුවලට යන්ත්‍රෝපකරණ ගෙනයාම සඳහා අඩි 15කට ආසන්න කෙත් මාවතක් තිබියදී තවත් පාරක් හදන්න එපා කියලයි. එහෙම තීරණයක් අරන් තියෙද්දි කොට්ටාව පොලිස් ස්ථානාධිපතිවරයා ද මුළාකර කුඹුරට ට්රැක්ටරය දැමීමට යයි පවසා අවසරයක් ගෙන කුඹුරු රක්ෂිතයේ තිබූ වටිනා ගස් කිහිපයක් අත්තනෝමතිකව කපල තාවකාලික ට්‍රැක්ටර් පැන්නුමක් දාගත්තා. ඒ වෙලාවේ අපි පොලිසිය දැනුවත් කළාම කොට්ටාව පොලිසියේ පරිසර අංශයේ ස්ථානාධිපතිවරයා පැමිණ ගස් කැපීම තහනම් කළා. ඒ වෙනකොට ඔවුන් ඇළ මාර්ගයෙ වැලි ගොඩදාමින් හිටියේ. පොලිසිය ඒකත් තහනම් කළා.
මේ පුද්ගලයා සිදු කරන අනවසර ගොඩකිරීම් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව පවා දැනුවත් කළත් මොහුගෙ සමාජ හා දේශපාලන සම්බන්ධතා මත අයුතු ප්‍රයෝජන ගන්නවා. මේ තත්ත්වය ගොවියන් හැටියට අපිට විශාල කරදරයක්. ඒ නිසා අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නෙ හැකි ඉක්මනින් අවධානය යොමු කොට සාධාරණයක් ඉටුකර දෙන ලෙසයි.”
මේ සම්බන්ධයෙන් ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලයෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු පැවසුවේ “අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවෙන් ලබාදුන් වාර්තාවකට අනුව උද්ගතව ඇති ගැටලුවට විසඳුමක් ලබාදීම සඳහා මේ වන විට පංච පුද්ගල කමිටුවක් පත් කොට තිබෙනවා. ඒ කමිටුව තවත් දින කිහිපයකින් රැස්වී සාකච්ඡා කොට දෙපාර්ශ්වය කැඳවා කරුණු විමසා අවසන් තීන්දුවක් ලබා දීමට නියමිත යැයි පැවසීය.”
මෙම අවස්ථාවට කොට්ටාව බටහිර ග්‍රාම සංවර්ධන සමිතියේ අනුශාසක හිටපු විදුහල්පති පි. පී.සිරිපාල, ගණකාධිකාරි ඩඩ්ලි වෙදගේ, විශ්‍රාමලත් රේගු අධ්‍යක්ෂක ජී.ආර්.චන්ද්‍රසිරි මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
කොට්ටාව – ප්‍රදීප් කුමාර