ජෝන් බැප්ටිස් ග්‍රෙනූයි, ආඝ්‍රාණය සඳහා අධි සංවේදී වූ චරිතයකි. හේ උපදින්නේ පිළී ගන්ධය උතුරා ගිය පැරීසියේ මාළු වෙළෙඳ පොළේ, ඉවත දමා ඇති අතුණුබහන් කසළ අතරේය. මවට එපා වූ දරුවෙක් ලෙස හේ එවන් කසළ ගොඩක අත්හැර යන සඳ, ග්‍රාස් නගරයට ඔහු පිවිසෙන්නේ දම්පැහැ ලැවැන්ඩර් පුෂ්ප යායක් දකිමිනි. ආඝ්‍රාණයේ උත්තේජනය ඔහු හමා යන්නේ මේ ප්‍රතිවිරුද්ධ ‘ගඳ – සුවඳ’ අතරේ දෝලනය වෙමිනි. සුන්දර යුවතියන්ගේ සුවඳ සොයා ඔහු පිවිසෙන්නේ දිව්‍යමය සුගන්ධය, විලවුන් බවට පත් කරන අටියෙනි. ග්‍රාස් නගරය වනාහි, සුවඳේ උපතය. ලෝකය පුරා දනන් තවරා ගත්, විරුදාවලි ලත් බොහොමයක් සුවඳ උපත ලබන්නේ ග්‍රාස්හිදීය. මල් පෙති ආදී සුවඳ කාරක අමුද්‍රව්‍ය ආසවනය කර, විලවුන් සඳහා සුවඳ එක් කර ගන්නේ, වීදුරු මත්තේ, සූකර මේද තවරා, සුවඳ ආසවනය, ඒ හා මුහු කර ගැනීමෙනි. ඒ මත්තේම සිය ජීවනය තනා ගන්නා, ජෝන් බැප්ටිස් ග්‍රෙනූයි දිව්‍යමය සුවඳ මිනිස් ලොවට ගෙන එනු පිණිස අනවර්තව උත්සාහ කළේය. රූමතියන්ගේ සුවඳ ආඝ්‍රණය කර, ඒවා නිස්සාරණය සඳහා ඝාතකයෙක් ද වන්නේය. නිරුවත් කාන්තා මළ සිරුරු, මංමාවත් දිග මතු වන්නේ ඒ සුවඳ සොයා යෑමේ ප්‍රතිඵලයක් ලෙසය.
පැට්‍රික් සුස්කින්ද්, ජර්මානු නවකතාකරුවෙකි. 1985 වසරේදී ‘ඩස් පර්ෆූම්’ නවකතාව රචනා වන්නේ හේ අතිනි. ද පර්ෆියුම් සිනමා පටයක් බවට පත් වීමෙන් අනතුරුව ඒ සංකල්ප වත, ලෝකය කලඹාලන්නේ මනුෂ්‍යත්වයේ තවත් පැතිකඩක් විවර කරමිනි. ජෝන් බැප්ටිස් ග්‍රෙනූයි යනු ඒ නවකතාවේ සුවඳවත් ඝාතකයා වේ.
ද පර්ෆියුම් සහ වයිට් කොලර් එකට මිශ්‍ර වීමේ ප්‍රතිඵලය පෙරේදා මාලිගාකන්ද අධිකරණයේ ප්‍රදර්ශනය විය.
වෛද්‍ය වෘත්තිය වන් සුවඳවත් රැකියාවක් අතරේ එසේ අපරාධකාරයෙක් රැඳී සිටීවි යැයි සමාජය නොසිතන්නේය. ඔහොම නම්බුකාර අපරාධකරුවෝ සඳහා මේ ‘සුදු කරපටි අපරාධ’ යැයි නම් වන්නේ 1939 වසරේය. එක්සත් ජනපද සමාජ විද්‍යා සංගමයේ සාමාජිකයන් හමුවේ, එඩ්වින් සටර්ලන්ඩ් සිදු කළ කතාවකදී ‘සුදු කරපටි අපරාධ’ යන සංකල්පය ඉදිරිපත් විය. අග්‍රගණ්‍ය සමාජ විද්‍යාඥයෙක් වූ සටර්ලන්ඩ්, “ සිය රැකියාවේ ගෞරවය හා උසස් සමාජ තත්ත්වය මත්තේ හිඳ යමෙක් අපරාධයක් සිදු කරයි නම් එය ‘වයිට් කොලර් ක්‍රයිම්’ ”යැයි විග්‍රහ කළේය.
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්, සී. අයි. ඩි. ය අත්අඩංගුවට ගත්තේ පාරේ යන පික් පොකට්කරුවන් නොවේය. ඩුබායි සිට මානව රිමෝට් කොන්ට්‍රෝල් හරහා මෙසේ වෙඩි පත්තු කරන රස්තියාදුකාරයින් ද නොවේය. වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, සහකාර අධ්‍යක්ෂ දේවශාන්ත සොලමන්, ගණකාධිකාරි (සැපයුම්) මිරාන් ධනංජය සහ තොග පාලක සුජිත් වසන්ත කුමාර යනු මධ්‍යම පාන්තික ජීවිත ගත කරන උදවියය උගතුන්ය.
වෛද්‍ය සැපයුම් අංශය යනු ආණ්ඩුවේ රෝහලට යන අප ඒ ලෙඩේ සඳහා බොන පෙත්තේ සිට සියල්ල සඳහා වූ ප්‍රමිතිය තීරණය කරන ස්ථානය වේ. එවන් ස්ථාන සඳහා වෛද්‍යවරයෙක් පත් කරනු ලබන්නේ, විෂයානුබද්ධ ලෙස වැඩේ කරන්නටය. ඒ අංශයම ඒකාබද්ධ වූ හොර ගුහාවක් නම් අපගේ සෞඛ්‍යය මේ ගාණට හෝ ආණ්ඩුමට්ටු වී තිබීම සම්බන්ධයෙන් උඩ සිට පහළ දක්වා වැඩ වසන, සියලු දෙවිවරුන් වෙත පින් දිය යුත්තේය.
වරදේ ස්වභාවය අධිකරණය ඉදිරියේ පැහැදිලි කරන ලද්දේ, වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ඉමියුනොග්ලොබියුලින් එන්නත නියමිත පරිදි ශ්‍රී ලංකාවට ගෙන්වා ආනයනය කර තිබේද යන්න සොයා බැලීමේ වගකීම පැහැර හැර ඇති බවත්, අනෙකුත් සැකකරුවන් WOR සහතිකය නොමැතිව එන්නත් තොග පරීක්ෂා කිරීමකින් තොරව බාර ගෙන ඇති බවත් සඳහන් කරමිනි.
අවස්ථා හයකදී රුපියල් මිලියන 44ක් ගෙවමින් නීතිවිරෝධීව කටයුතු කළ බව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණයට දන්වා සිටියාය.
‘මේ බඩු ටික’ තවම සිටින්නේ සැකකාර ලිස්ට් එකේ හෙයින් වැරදිකාරයො බවට මේ තීරුව නිගමනය කරන්නේ නැත. ඒ සඳහා අධිකරණ පටිපාටිය ඉදිරිය බලා ඇදෙනවා ඇත. තම සේවාදායකයා නිදොස් බව කියනු වස් විත්තියේ නීතිඥවරු කරුණු දක්වනවා ඇත. අවසානයේදී රෝගීන් වෙත බාල ඖෂධ ලබා දී ඇත්තේ වටේ පිටේ සිටින වුන්දැයි විත්ති වාචක අසන කල්හි ජනී ජනයා තර්ක කරනු ඇත්තේය. ලෙඩෙන් ගසාගෙන කෑම වනාහි මල්ශාලා හිමියා උදෑසන දෙවියන් වෙනුවෙන් පහන තබනවා වැනි වැඩකි.
ඔහුගේ වෙළෙඳාම සරුවීම සඳහා වැඩි වැඩියෙන් මිනිසුන් ජීවිතයෙන් සමුගත යුත්තේය. ඒවා අනෙක් මනුෂ්‍යයන් වෙත කනගාටුව දනවන්නේ නමුදු මල්ශාලා හිමියා වෙත සතුට උතුරා යන ආරංචියකි. ‘දැට්ස් ද නේචර් ඔෆ් ද ජොබ්’ කියා ඒ සඳහා සමාව දිය හැක්කේ මුත් වෛද්‍ය සැපයුම් අංශයේ ‘ජොබ් එක’ එහෙම ලෙඩාගේ ‘දුකම කොයි තරම් සැපතක් දෝ’ කියා පුටුවේ සිට අත්සන් ගැසීම නොවේ.
පෙරේදා හතරක් ඇතුළට ගියහ. පරීක්ෂණ දිගටම සිදු වන හෙයින් තවත් ගැන්සියක් මේ වැලේ ඇමිණී, අතට මාංචු දමාගෙන පැමිණෙනවා ඇත. බෙහෙතට වංචා කිරීම සඳහා කටයුතු කරන්නෝ, මුදල් සුවඳ සොයා උපන්නෝ වන්හ.
ජෝන් බැප්ටිස් ග්‍රෙනූයි සිය ජීවනය සුසර කරගෙන තිබුණේ ආඝ්‍රාණය සඳහා සේ, මේ ගැන්සිය ජීවත් වන්නේ ‘ගාණ කපා ගැනීමේ’ ගේම සඳහාය. රටේ තැන තැන මළ මිනි ගොඩ ගැසීම ඔවුනට ප්‍රශ්නයක් නොවේ. කෑෂ් ලෙස ඒ සෑම ටෙන්ඩරයකින්ම ගාන කැපෙනවාද යන්න පමණක් ඔවුහු විමසන්නාහ.
සුදු කරපටි අපරාධහි මුඛ්‍ය ලක්ෂණ වන්නේ, සමාජයේ ඉහළ පන්තිය විසින් අපරාධය සිදු කිරීම, අපරාධය සමාජයෙන් සැඟ වී පැවතීම, නීතියෙන්ද සැඟවීමට හැකිවීම ආදියයි. ඒ ලක්ෂණ ගණනාවක් විනිර්මුක්ත කර දැන් ‘කේස් එක’ එළිපිට පත්තු වී තිබේ. නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම සහ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම යන දේපළ යුක්තිය වෙනුවෙන් දරන මේ පරිශ්‍රමය සඳහා මේ තීරුව සිය ගෞරවය දක්වන්නේය.
නූපන් දරුවාද ගෙවීමට යටත් කරමින්, බදු ගෙවන ජනතාවගේ මුදලින් වරප්‍රසාද ලබා, රජයේ වැටුප් ලබමින්, හුදු අත්සන් යොදමින්, මනුෂ්‍ය ශරීරය සඳහා ලබා දෙන ඖෂධ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී නිර්දේශ නොසලකා හැරීම මෙහිදී නිරීක්ෂණය වී ඇති බව මහේස්ත්‍රාත්වරිය අධිකරණයේදී, මේ සිද්ධිය අරබයා ප්‍රකාශ කළාය.
දැන් ඉතින් අපිදු සමාජයක් ලෙස මේ සිද්ධිය හඹා යා යුත්තෙමු. සමාජ බලයක් යොදා මේ ගැන විමසුම් ඇසින් පසු විය යුත්තේ, මේ ජාතියේ ‘තවත් කේස් ගණනාවක්’ අප අවට සැඟව පවත්නා හෙයිනි.