හැම වෙලාවකම අපි යොමු වෙන්න ඕනෑ ජනප්‍රිය තීන්දු තීරණවලට නෙමෙයි
මොනම රජයක්වත් ජනතාව පීඩනයට පත් කරන්න, බලයට එන්නේ නෑ
විසර්ජන පනත් කෙටුම්පත ලෙස හඳුන්වන ලේඛනයට යොදනු ලබන වඩාත්ම ජනප්‍රිය යෙදුම වන්නේ ‘අය වැය’ යන්න යි. සියලුම පුරවැසියන්ගේ අයිතිවාසිකම් සපුරාලීම සඳහා අවශ්‍ය වන මූල්‍යමය ප්‍රතිපාදන බෙදා වෙන් කරනු ලබන්නේ අය වැයෙනි. මේ පිළිබඳව ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන, ආචාර්ය ඒ. එම්. ඉන්දික ගුණරත්න මහතා සමඟ කළ සංවාදයකි.
අය වැය මඟින් ඉදිරිපත් කර ඇති ජාතික සැපයුම් ප්‍රතිපත්තිය කෙසේ සකස් විය යුතු ද?
මෙම ජාතික සැලසුම් ප්‍රතිපත්තිය සකස් කිරීම ඉතාමත්ම වැදගත් යෝජනාවක්. ආර්ථික විද්‍යාවට අනුව සැපයුම් පාර්ශ්වයේ ආර්ථික විද්‍යාව ඉලක්ක කර ගෙන භාණ්ඩ හා සේවා සැපයුම් වැඩි කිරීම සහ පසුකාලීනව ආර්ථික වර්ධනයට තුඩුදෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ආර්ථිකය ශක්තිමත් කිරීමේ අදහසින් මෙය ඉදිරිපත් කරලා තියෙන බව පෙනී යනවා. මේ යටතේ, නැවත ආයෝජනය කිරීම වෙනුවෙන් සමාගම්වලට වැඩි මුදලක් ලබා දීම සඳහා ආයතනික ආදායම් බදු අනුපාත අඩු කරන්න, ප්‍රාග්ධන ණය ගැනීමේ අනුපාත අඩු කරන්න, නව ව්‍යාපෘති සැලසුම් කරන්න, ගොඩනැඟිලි සහ නිෂ්පාදනවලින් ලැබෙන ප්‍රාග්ධන වත්කම් ආයෝජනය කරන්න, ව්‍යාපාර දිරිමත් කරන්න හැකියාව ලැබෙනවා. අනෙක් කාරණය හැටියට බොහෝ වේලාවට නිෂ්පාදනය අඩාළ කරන දිගු සැකසුම් කාලය, අනවශ්‍ය වාර්තා ඉදිරිපත් කිරීම සහ ලියකියවිලි වැනි දේ ඉවත් කිරීම සඳහා ව්‍යාපාර හෝ රජයේ රෙගුලාසි ලිහිල් කිරීම මෙම ජාතික සැපයුම් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම මඟින් සැලසෙන වාසි හැටියට සලකන්න පුළුවන්. සමහර අවස්ථාවලදී සැපයුම් පාර්ශ්වික ආර්ථික විද්‍යාව, දේශීය සැපයුම වැඩි කිරීමට වගේම විදේශ නිෂ්පාදනවලට වඩා දේශීය නිෂ්පාදන වඩාත් හිතකර කිරීමට ඉවහල් වෙනවා. මේක ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන සංකල්පයක්. 21 වන සියවසේ ගෝලීය සැලැස්මේ කොටසක් ලෙස මුලින්ම ශ්‍රී ලංකා ආර්ථිකය හැඩගැන්වීම මෙම ජාතික සැපයුම් ප්‍රතිපත්තිය ඔස්සේ සිද්ධ වෙනවා.
රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම සඳහා ජාත්‍යන්තර අත්දැකීම් යොදා ගනිමින් ආදායම් පරිපාලන ඵලදායීතාව ඉහළ නැංවීම ඇතුළු අභිලාෂ කිහිපයක් ඉටු කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ආදායම් අධිකාරිය ස්ථාපිත කිරීම කෙසේ කළ යුතුද?
මෙය කාලානුරූපී යෝජනාවක් හැටියට සලකන්න පුළුවන්. ප්‍රාදේශීය සභා, පළාත් සභා සහ වෙනත් රාජ්‍ය ආයතන මඟින් වෙන්වෙන්ව එකතු කරනු ලබන රාජ්‍ය ආදායම් එක් ආයතනයක් වෙත කේන්ද්‍රගත කිරීමක් මෙමඟින් බලාපොරොත්තු වෙනවා. මෙහිදී රාජ්‍ය මුදල් අවභාවිතය සඳහා ඇති ඉඩ ප්‍රස්තාවන් අවම කර ගන්න පුළුවන්. ඒ වගේම මූල්‍ය විගණනය වඩාත් පහසුවීමක් මෙමඟින් සිදු වෙන බව පෙන්වා දෙන්න පුළුවන්. ඒත්, මෙය පිහිටුවීමත් එක්කම දැනට භාවිත වන යල් පැනගිය මෘදුකාංග පද්ධති වෙනුවට නව තාක්ෂණය භාවිතා කරලා, නව පද්ධතීන් හඳුන්වා දීම සිදු කරලා ශ්‍රී ලංකා ආදායම් අධිකාරියේ කටයුතු සිදු කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතුයි. මේ විදිහට සිදු නොකළොත් පවතින තත්ත්වයට වඩා මෙය අකාර්යක්ෂම හා දූෂිත වීමට ඉඩ තියනවා.
නව සුරාබදු බලපත්‍ර ක්‍රමයක් සහ සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා වන ආදායම් පරිපාලන පද්ධතියක් හඳුන්වාදීම සාර්ථක ක්‍රියාවලියක් ද?
බදු අය කරන්නේ කවුද? බදු අය කරන්නේ කුමක් සඳහා ද? කොපමණ බදු අය කරනවා ද? බදු ගෙවන්නන්ගේ පුද්ගලික කොන්දේසි මොනවාද? ඔය වගේ දේවල් නිර්වචනය කරන්න රජය මේ වෙනකොට වඩාත් සංකීර්ණ පද්ධති සහ ක්‍රියාවලි අරඹලා තියෙනවා. නමුත්, මේ වගේ තියන සංකීර්ණත්වය වැඩියි. මෙතැනදී තියෙන සංකීර්ණත්වය අඩු කරලා අපි බලන්න ඕනේ සියලු දෙනාම බදු ගෙවීමට යොමු කරවන්න. වෙන රටවල් වගේ නෙවෙයි, ශ්‍රී ලංකාව ගත්තාම සාමාන්‍යයෙන් බදු දැලට අසුවෙන්නේ රාජ්‍ය සේවකයෝ සහ යම් මධ්‍යම පාන්තික ජනතාව විතරයි. විශාල ව්‍යාපාර කරන පිරිස්, ඒවාගේ පුද්ගලයෝ බදු මගහරිමින් ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. මුදල් භාවිතය රහිත ආර්ථිකයක් මඟින් සියලු පුද්ගලයන් විසින් කරන ගනුදෙනු, මිල දී ගැනීම්, විකිණීම් වැනි සියලු දේ ස්වයංක්‍රිය පද්ධතියකට යොමු වෙනවා. ශ්‍රී ලංකාවේ සමහර ගනුදෙනු දැනටමත් මෙහෙම සිද්ධ වෙනවා. විදේශ බැංකුවලින් විදේශවල සිට කරන ගනු දෙනු ශ්‍රී ලංකාවට එවීමක් සිද්ධ කරනවා. රේගුව වගේ ආයතන විසින් සිදු කරනු ලබන පුද්ගල බද්ද ක්‍රියාවලි නිසා එම තත්ත්වය මඟින් රටට අය විය යුතු බදු මුදල් විශාල වශයෙන් මඟ හරවා ගැනීම් සිද්ධ වෙලා තියෙනවා. පුළුවන් තරම් රජය විසින් ආනයනය කිරීම සහ අපනයන කිරීම සිදු කිරීමේ දී ස්වයංක්‍රිය පද්ධති ස්ථාපිත කළ යුතු වෙනවා. එමඟින් ඒ අදාළ බදු මුදල් තක්සේරු කිරීම මඟින් සිදු වන අක්‍රමිකතා අවම කර ගන්න පුළුවන්. දේශීය වශයෙන් ව්‍යාපාර කරන පුද්ගලයන් මේ බදු දැලෙන් රිංගලා යන්න තියෙන අවස්ථාවන් පිළිබඳව හොඳටම දන්නවා. ආදායම් බදු දෙපාර්තමේන්තුව වැනි ආයතනවල ඒ ඉන්න පුද්ගලයන්ගේ සහ ව්‍යාපාරකරුවන්ගේ සහයෝගිත්වයෙන් තමයි මේ වැඩ සිද්ධ වෙන්නේ. පුළුවන් තරම් පුද්ගල මැදිහත්වීම් අවම කරලා ස්වයංක්‍රිය පද්ධති ඔස්සේ බදු ගණනය වන ආකාරයේ ක්‍රියාමාර්ගයකට යන්න ඕනෑ. ඒක හින්දා ආදායම් පරිපාලන පද්ධතියක් හඳුන්වා දීම හොඳයි. පුළුවන් තරම් පුද්ගල මැදිහත් වීම් පාවිච්චි කරන්නේ නැතිව, ස්වයංක්‍රියව ක්‍රියාත්මක වෙලා ඒ ස්වංක්‍රියව ක්‍රියාත්මක වීම් තුළින් ඒ අදාළ ආදායම් අය විය යුත්තේ කොහොමද කියන එක ඇස්තමේන්තු කරලා එම බදු අයකර ගැනීම සිදු කළ යුතු වෙනවා. දැන් තියෙන දූෂණ වංචා වගේ දේවල් අවම වෙලා නියම බදු ආදායම් රජයට ලබා ගන්න පුළුවන් මෙය ක්‍රියාත්මක කිරීමෙන්.
ජංගම ගිණුමක් විවෘත කිරීම, ගොඩනැඟිලි සැලැස්මක් අනුමත කිරීම, මෝටර් රථ ලියාපදිංචිය ආදියේ දී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය ඇතුළත් සහතිකයේ පිටපතක් ඉදිරිපත් කිරීමට සැලැස්වීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක් ද?
බදු ගෙවන්නාගේ අංකය, දැනටමත් ඒක තියෙනවා. අපේ ජාතික හැඳුනුම්පත් අංකය මඟින් ඒ බදු ගෙවන්නා හඳුනා ගැනීම සිද්ධ කරනවා. බදු ගෙවන්නාගේ අංකය සහිත ඒ සහතිකයේ පිටපත් ඉදිරිපත් කිරීම මඟින් බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ වත්කම්. යම් කිසි දෙයක් මිල දී ගන්න යම්කිසි වත්කමක් අවශ්‍ය වෙනවා. එතකොට ඒ වත්කම වැය කිරීමට ඔවුන්ට හැකියාවක් තියෙනවා කියන්නේ ඔවුන් ඒ සඳහා මුදල් වැය කරනවා. ඒ සඳහා ඔවුන් රජයට බදු මුදලක් ගෙවන්න ඕන. ඇත්තටම මේ ක්‍රමය දැනටමත් ක්‍රියාත්මක වෙනවා. නමුත්, ක්‍රියාත්මක වෙන්නේ බොහොම තාක්ෂණික අතින් අඩු මට්ටමකයි. ඒක හින්දා මේ සඳහා ඉහළ තාක්ෂණයක් පාවිච්චි කිරීම මඟින් රජයට අය විය යුතු ආදායම් අය කර ගැනීම මෙහි මූලික අරමුණයි.
දැනට පවතින ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් පවා පාඩු ලබමින් තිබිය දී නව ගුවන්තොටුපළක් ස්ථාපිත කළ යුතු ද?
දැනට තියෙන ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් පාඩු ලබනවාද, ලාභ ලබනවාද කියලා කියන එකට වඩා වර්තමානයේ තියෙන මුදලේ වටිනාකම, උද්ධමනය, මුදලට තියෙන අගය ඩොලර් එක, රුපියලට සාපේක්ෂව බැලුවම ඇත්තටම වර්තමානයේ යම් කිසි ආයෝජනයක් කිරීම තුළින් ප්‍රතිලාභයක් ලැබෙන්න තව අවුරුදු අටක් දහයක් ගත වෙනවා. තව අටකින් දහයකින් මේ ගුවන්තොටුපළ හදන්න ගියොත් එහෙම මේවගේ දහ ගුණයක විසිගුණයක වගේ මුදලක් වැය වෙනවා. හොඳම උදාහරණය තමයි, මත්තල ගුවන්තොටුපළ හදනකොට විවිධ පාර්ශ්ව විශාල විවේචන ප්‍රමාණයක් එල්ල කළා. ඒ පැත්තේ ගුවන්තොටුපළක් හදන්න වැඩක් නැහැ. කේන්ද්‍රීය ආර්ථික පද්ධතියක් නෑ. ඔය වගේ විශාල චෝදනා ප්‍රමාණයක් එල්ල කළා. නමුත් අද වෙනකොට පෙනිලා තියෙනවා ඒවා දියුණු වෙන්නේ එකින් එක. ගුවන්තොටුපළ සෑදීම, වරාය සෑදීම, ආයෝජන කලාප ඇති කිරීම සහ හෝටල් ක්ෂේත්‍ර ඇති කිරීම එක පාර එක රැයකින් කරන්න බෑ. ඒ හින්දා මොකක් හරි මූලික පියවරක් ගන්න ඕනේ. එතකොට පහුගිය රජයන් ඒවා දුරදිග බලලා ගත්ත තීරණ හැටියට අපිට සලකන්න පුළුවන්. එදා ඒ මත්තල ගුවන්තොටුපළ හදන්නේ නැතිව අද ඒක හදන්න පටන් ගත්ත නම් ඒවගේ විසි තිස් ගුණයක මුදලක් අපිට වැය කරන්න සිද්ධ වෙනවා. ඒක හින්දා අපිට විදේශයෙන් ලැබෙන ආධාර වගේ දේවල් කළමනාකරණය කරන්න අවශ්‍යයි. මීට අවුරුදු දහයකට විතර කලින් මේක සෑදීම කියන එක ඥානාන්විත ක්‍රියාවක් හැටියට සලකන්න පුළුවන්. ඒවගේම තව ගුවන්තොටුපළක් ස්ථාපිත කරා කියලා දැනට තියෙන ගුවන්තොටුපළවල් පාඩු ලබනවාද කියන එක අදාළ වෙන්නේ නෑ ඒකට. නව තොටුපළින් නැවත ලැබීම් පටන්ගන්න තව අවුරුදු කිහිපයක් යනවා. අද ඒ සඳහා ආයෝජනය කළොත්, අපිට අවුරුදු දහයකින් පහළොවකින් ඒ ආයෝජනය කරලා තියනවාට වඩා විසි තිස් ගුණයකින් ලාභ ලබන්න පුළුවන්. මේක අපේ ජාතික ආර්ථිකයට දායක කර ගන්න පුළුවන්. ඒක හින්දා ඒ යෝජනාව කාලාන්විත කාලානුරූපී යෝජනාවක් හැටියට ආර්ථික විද්‍යානුකූලව සලකා බලනකොට අපිට පේනවා.
සැබවින්ම මෙම අය වැය මැතිවරණයක් ඉලක්ක කර ගනිමින් ඉදිරිපත් කළ අය වැයක් ද?
මෙහෙම කියන්න බැහැ. රජයක් ජනතාවට ආර්ථිකය අතින් යම්කිසි සහන සලසන අය වැයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. පහුගිය කාලයේ වැටිලා තිබුණු ආර්ථිකය යම් කිසි මට්මකින් ඉහළට ගෙනල්ලා ඒ සහන දෙන්න පුළුවන් අවස්ථාවේ ජනතාවට ඒ ප්‍රතිලාභ දෙන කොට මේක මැතිවරණයක් ඉලක්ක කර ගනිමින් ඉදිරිපත් කළ අය වැයක් කියන එක හුදෙක් දේශපාලන කුහක කතාවක් හැටියට සලකන්න පුළුවන්. මේ සියලුම දෙනා කරන්නේ දේශපාලනය නමුත් මේ මඟින් වක්‍රාකාරයෙන් මේකට ඡන්දයක දී වාසි සැලසෙන්න පුළුවන්. නමුත් රජයක් බලාපොරොත්තු වෙන්නේ හැම තිස්සේම ජනතා සුබසාධන ඉෂ්ට කිරීමයි. ඒ අනුව පුළුවන් හැම වෙලාවකම ජනප්‍රිය තීන්දු තීරණවලට නෙමෙයි අපි යොමු වෙන්න ඕනෑ. අපිට ආර්ථිකය කළමනාකරණය කර ගන්න පුළුවන් මට්ටමේ, අපේ ආර්ථිකයට දරන්න පුළුවන් මට්ටමේ යෝජනා තමයි මේ ඉදිරිපත් කරලා තියන්නේ. ටික ටික ආර්ථිකය ශක්තිමත් වෙනකොට මිනිස්සුන්ට සැලසෙන සුබසාධනය ඉහළ නංවයි කියන එකෙන් අපිට අදහස් කරන්න බෑ මේක මැතිවරණයක් ඉලක්ක කර ගෙන කරන ලද අය වැයක් කියලා. සමහරවිට යම්කිසි අවස්ථාවල දී යම්කිසි ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගන්න වෙනවා. රජයන්වලට බදු වැඩි කරන්න වෙනවා. ඒවගේ යම් යම් ක්‍රියාමාර්ග ගන්න වෙනවා ආර්ථිකයක් ශක්තිමත් කර ගන්න. ආර්ථිකයක් යම් මට්ටමකට ආවට පස්සේ හැම තිස්සෙම බලන්නේ පුළුවන් මට්ටමෙන් ජනතාවට සහනය දීලා ඒ ගොල්ලන්ගේ ක්‍රය ශක්තිය වැඩි කරන්න. ජීවිත සුඛිත මුදිත කරන එක තමයි රජයක ප්‍රධාන අභිප්‍රාය වෙන්නේ. මොනම රජයක්වත් ජනතාව පීඩනයට පත් කරන්න, තළාපෙළන්න, පළිගන්න බලයට එන්නේ නෑ. අය වැය සහන ලැබීම සමහර පාර්ශ්වයන්ට ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාර අඩපණ වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒ හින්දා මේක මැතිවරණයක් ඉලක්ක කරගෙන කරන ලද අය වැයක් හැටියට අපිට සලකන්න බැරි වෙනවා.
කුසලා සජීවනී
ඡායාරූප – සුදත් නිශාන්ත