Sunday, May 11, 2025
Home » විධිමත් ආර්ථික කළමනාකරණයක් සහිත අය-වැයක් ඉදිරිපත් කළා -රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

විධිමත් ආර්ථික කළමනාකරණයක් සහිත අය-වැයක් ඉදිරිපත් කළා -රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

by sachintha
November 22, 2023 1:00 am 0 comment

ආර්ථික අර්බුදයක් අනාගතයේ යළි ඇති නොවීමට විධිමත් ආර්ථික කළමනාකරණයක් සහිත අය – වැයක් මෙවර ඉදිරිපත් කර ඇති බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ 2024 අය – වැය පිළිබඳ මුදල් අමාත්‍යාංශයේදී පෙරේදා (20) පැවති සාකච්ජාවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“ජනප්‍රිය ආර්ථික කළමනකරණ තීන්දු වෙනුවට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට පදනමක් සහිතව මෙවර අය – වැය යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. මෑත කාලයේ රටේ නිර්මාණය වූ විවිධ අර්බුද හමුවේ බලපෑමට ලක්වූ සෑම ක්ෂේත්‍රයකටම ශක්තිමත්ව නැඟී සිටින්නට හැකි ආරම්භයක් මේ අය-වැයෙන් දී තිබෙනවා. නමුත් රටේ ආර්ථිකය ස්ථාවරවීම දේශපාලනීකරණය වීම කනගාටුවට කරුණක්.

රටේ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව මනා අවබෝධයක් මෙමඟින් ගන්න පුළුවන්. දිගින් දිගටම මේ අය – වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණාට පස්සෙ බොහෝ අවස්ථාවලදී වර්ධනයක් ආර්ථිකයට ගන්න පුළුවන් වුණා. ආර්ථික වර්ධනයක් වෙත ගමන් කරන්න පෙර තිබෙන ආර්ථිකයේ ස්ථාවරත්වයක් දීම වැදගත් වෙනවා. මහ බැංකුවේ දත්ත අනුව රටේ ආර්ථික ස්ථාවරත්වය කොතෙක් දුරට ළංකර ගෙන තිබෙනවා ද කියලා පෙනෙනවා.

අපි විශ්වාස කරන ආකාරයට තවදුරටත් ආර්ථිකය ස්ථාවර විය යුතුයි. 2022 අය – වැය ලේඛනය 2023 වෙනුවෙන් ඉදිරිපත් කරනකොට බොහෝ අවස්ථාවලදී අය – වැය ලේඛනයක් ඉදිරිපත් කරන්න හෝ පුළුවන් තත්ත්වයක නෙමෙයි රට පැවතුණේ. විශාලතම ආර්ථික කඩා වැටීමත් ඇවිත්, දේශපාලන සහ සමාජීය අස්ථාවරභාවයත් ඇවිත් රටේ එක ප්‍රධාන සංධිස්ථානයක් වෙත අපි ගමන් කර තිබුණෙ. ඒ අනුව අය – වැය ලේඛනය ඉදිරිපත් කළා.

2023 වෙනුවෙන් ඉදිරිපත් කළ අය – වැය ලේඛනයේ ප්‍රතිඵල තමයි මෙතෙක් දුරට ආර්ථිකය ස්ථාවර වෙලා තිබුණෙ. එතැනින් එහාට ආර්ථික වර්ධනයක් අපි සියයට 1.8ක් බලාපොරොත්තු වෙනවා. සියයට 2 හෝ එය ඉක්මවීමට තමයි අපි සැලසුම් කර තිබෙන්නෙ. ඒ සමඟම මේ අය-වැය ලේඛනයක් පදනම් කර ගන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අපේ ණය හිමියන් සමඟ අපි ඇති කර ගත් එකඟතාව මත. මේ වෙනකොට අපි බලාපොරොත්තු වෙන සාකච්ඡා සාර්ථක කරගැනීම ඉතාම වැදගත් වෙනවා.

අපි ණය ප්‍රතිව්‍යූහගතකරණයට වැඩි අවධානයක් යොමු කරනවා. ජනාධිපතිවරයා ඒ වගේම මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව ඒකාබද්ධව සිදු කළ වැඩපිළිවෙළ තුළ අපට නුදුරේදීම සාර්ථකත්වයක් ගන්න පුළුවන් වෙනවා. මේ එකඟතාව ආර්ථික ස්ථාවරත්වයන් වර්ධනයන් කරා ගෙන යෑමට ඉතාම වැදගත් වෙනවා. ණය ප්‍රතිව්‍යූහගතකරණය අවසන් වුණාට පසුව නැවත ඒ ණය බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කරන්නත් නැවත ආර්ථිකය කඩා වැටීමක් සිදු නොවෙන්නත් කළමනාකරණයක් කර ගත යුතුයි. ඒ සඳහා යන ගමන්මඟ තමයි මේ පෙන්වා තියන්නෙ. මම හිතනවා මේකෙ සාර්ථකත්වයක් තියෙනවා. නමුත් තවදුරටත් අවධානය යොමු කළ යුතු කාරණාත් තියෙනවා.”

ජනාධිපති වෘත්තීය කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා

“අපි අද මේ සම්මන්ත්‍රණ පවත්වන්නේ අය – වැයට සමගාමීව. වර්තමාන ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා විදියට පසුගිය සතියේ 2024 අය – වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ ඉදිරිපත් කළ අය – වැයට අදාළව විවිධ යෝජනා, චෝදනා, විවිධ අදහස් සමාජය තුළ කථිකාවක් විදියට ඇවිත් තියෙනවා. අපට ඒක පේන්න තියෙනවා. සාමාන්‍යයෙන් අය – වැයක් ඉදිරිපත් වුණාම එහෙම සමාජ කථිකාවක් නිර්මාණය වෙනවා. ඒක හොඳ තත්ත්වයක්. සමහර අදහස් දිහා අපි බැලුවාම සමහර ඒවා සත්භාවයෙන් කරන ඒවා. සමහර ඒවා යථාර්ථවාදීව කරන ඒවා. සමහර ඒවා ද්වේෂ සහගතව කරන ඒවා.”

මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය පී. කේ. ජී. හරිස්චන්ද්‍ර, ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න මහත්වරුන් ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයෝ ද, යොවුන් සේනාංකයේ හා තරුණ සේවා සභාවේ පිරිසක් ද මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

මහින්ද අලුත්ගෙදර සහ මැදකොළඹ සමූහ ආරියරත්න ගනේගොඩ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT