මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන තෙල්දෙණිය මූලික රෝහලේ ගැබිනි වාට්ටුව හා සූතිකාගාරය පිහිටි ගොඩනැඟිල්ලට පිටුපසින් පිහිටි පස් කන්දක් එහි බිත්තියක් මතට කඩාවැටීමෙන් ඇති වූ අවදානම් තත්ත්වය මත ගැබිනි වාට්ටුවේ සිටි මවුවරු 15 දෙනෙකු මහනුවර ජාතික රෝහලට මාරු කර යැවීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
අධික වර්ෂාවත් සමඟ ගොඩනැඟිල්ලට පිටුපසින් තිබූ පස් කන්දේ කොටසක් නායයෑමට ලක්ව බිත්තියක් මතට පෙරේදා (20) පස්වරුවේ ඇදවැටී තිබෙන අතර, ගැබිනි මවුවරුන්ගේ ආරක්ෂාවට ඔවුන් කඩිනමින් මහනුවර ජාතික රෝහලට මාරු කර යැවීමට පියවර ගත් බව තෙල්දෙණිය මූලික රෝහලේ වැඩ බලන වෛද්‍ය අධිකාරි අජිත් අබේසේකර මහතා පැවසීය.
තවදුරටත් වර්ෂාව ඇද වැටුණොත් පවතින අනතුරුදායක තත්ත්වය ඉහළ යෑමේ අවදානමක් පවතින බැවින් අදාළ තීරණය ගත් බව ද ඒ මහතා කීය.
පස් කන්ද කඩා වැටීම නිසා ගොඩනැඟිල්ලට හානි සිදුව තිබේ ද හා තවදුරටත් පස් කන්ද නායයෑමට ලක්වීමට ඉඩ තිබේ ද යන්න සොයා බලා වාර්තාවක් දෙන ලෙස ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබෙන බව මේ සම්බන්ධව කළ විමසීමක දී මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතා පැවසීය.
අසේල කුරුළුවංශ
294
කලින් පුවත