මෙරට ආර්ථික පරිහානිය සම්බන්ධයෙන් එල්ල කරන සියලු චෝදනා තමන් ප‍්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මෙවර අය වැය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේය.
මෙවර අය වැය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
තවදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
සිය අයිතීන් නැති කළ යුතු යැයි කියන නායකයන් පසුගිය කාලයේ කළ කී දේවල් මට හොඳින් මතකයි. මට එරෙහිව විවිධ පිරිස් මඩ ව්‍යාපාර පවා ක්‍රියාත්මක කර තිබෙනවා.
අනුන්ගේ අයිතීන් නැති කිරීමට කතාකරන්නන් රටේ ජනයාගේ අයිතීන් තහවුරු කිරීමට වැඩ කළ යුතුයි. අතීතයේ සිට තමන් ජනතාවගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් කැප වුණා.
මෙවර අය වැය තුළ දැඩු මූල්‍ය විනයක් තිබෙනවා. රටේ ආර්ථිකය සුබවාදී ලෙස ඉදිරියට ගෙන යෑමට මෙය අවස්ථාවක් බවට පත් කර ගත යුතුයි.
මෙවර අය වැය පිළිබඳව මහජන නියෝජිතයන් ලෙස පෞද්ගලික කෝණවලින් බැලීම නොකළ යුතුයි. එසේ සිදු කළ හොත් මෙවර අය වැයේ රට ඉදිරියට ගෙන යන හොඳ යෝජනා අත්හැරෙනු ඇති.
ජනතාව අමාරුවේ නොවැටෙන ඉතා වැඩදායී අය වැය යෝජනාවලියකට උපරිම සහාය ලබා දෙනවා. මෙරට ආර්ථිකය ජනතාව සමඟ ඉතා ඉක්මනින් නැගිටිය යුතු බවට මා විශ්වාස කරනවා.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ සභාවේදී ආර්ථිකය සම්බන්ධව අපිට විශාල චෝදනාවක් නැඟුණා. හැම චෝදනාවක්ම අපි ප්‍රතික්ෂේප කරනවා. දැන් එක එක අයගේ අයිතීන් නැති කරන්න කතා කරන උදවියත් ඒ කාලේ කරපුවා අපිට මතකයි. හැබැයි චෝදනාවක් නැඟුව පමණින් මඩවලට උත්තර දෙන්න අපිත් ආයේ මඩ අල්ලන්න අවශ්‍යද? ඉතින් ඒ නිසා අපිට ඒ අයට කියන්න තියෙන්නේ මඩ ගහන අයගේ අත්වල මඩ ගෑවෙයි. කාගේ හරි අයිතියක් නැති කරන්න කතා කරන අය අඩුම රටේ ජනතාවගේ අයිතිය තහවුරු කරගන්න වැඩ කරලා ඉන්න. අපි ඉතිහාසය පුරා ජනතාවට ජීවිත අයිතිය සුරක්ෂිත කරන තැන ඉඳන් අපි යුතුකම ඉටු කරලා තියෙනවා. ඒ නිසා නැති කරන්න කතා කරන අයට අයිතියක් රැකදෙන්න අමාරු බව දැන්වත් වටහාගන්න කියලයි ඉල්ලන්නේ.