Sunday, May 11, 2025
Home » දෑස් නොපෙනෙන මලිතුට ලකුණු 113ක්

දෑස් නොපෙනෙන මලිතුට ලකුණු 113ක්

by sachintha
November 22, 2023 1:00 am 0 comment

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා ‍ බ්‍රේල් ක්‍රමය යටතේ පෙනී සිටි දෑස් නොපෙ‍ෙනන කෑ/ මාව උස්සාපිටිය ශ්‍රී සුමංගල මහ විද්‍යාලයේ එන්. ජී. මලිතු යෙනුල් ජයසිංහ සිසුවා ලකුණු 113ක් ලබාගනිමින් විශිෂ්ට ලෙස සමත්ව ඇතයි විදුහල්පති ටී. ඩබ්. ඒ. කේ. ජයසිංහ මහතා පැවසීය.

මුරුතුල්ලවත්ත, වැලිමන්න, අරණායක ලිපිනයේ පදිංචි මලිතු යෙනුල් ජයසිංහ පුතණුවන් මව, පියා සහ බාල සහෝදරයා සමඟ සිවුදෙනකුගෙන් සමන්විත පවුලක වැඩිමලා වන්නේද දෙනෙත් අහිමි මලිතු සිසුවාය.

මලිතු මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ කඩඉම් ලකුණ වන 95 සීමාව ඉක්මවා 113ක් වැනි ඉහළ ප්‍රමාණයක් ලබා ගැනීමට සමත්ව ඇතැයි විදුහල්පතිවරයා පැවසීය.

එච්. වී. ශෂිකා දිල්හානි (32) මහත්මිය සිය වැඩිමහල් පුතුගේ විශිෂ්ඨ ජයග්‍රහණය පිළිබඳ මෙසේ පැවසීය. මලිතු කියන්නේ මගේ වැඩිමල් පුතා. තව අවුරුදු හතරක පුතෙක් ඉන්නවා. මහත්තයා එන්. ජී. අමිල ප්‍රභාත් ජයසිංහ (34). මලිතුට මේ ජයග්‍රහණය ලබාගන්න යෝධ ශක්තියක් වුණේ විදුහල්පති ජයසිංහ මහත්මා, පන්ති භාර වත්සලා තිලකරත්න, හේරත්, අජිත්, සුනිල්, ජනක කියන ගුරු මහත්ම මහත්මීන්ගේත් සහයෝගය ලැබුණා. පුතා එක වසරේ ඉඳලා තුන වසර දක්වා විශේෂ අවශ්‍යතා පන්තියේ හිටියේ. ඊට පස්සේ තමයි සමාන්‍ය පන්තියේ බ්‍රේල් ක්‍රමයට ඉ‍ෙගනගන්න අවස්ථාව ලැබුණෙ. පුතා පොඩි කාලේ ඉඳල ගොඩක් දක්ෂයි, හොඳ හැකියාවන් තිබුණා. අපි ගොඩක් දුප්පත්, මහත්තයාට ස්ථිර රැකියාවක් නෑ. අපි පදිංචි වෙලා ඉන්න ගෙදරට එන පාර බොහොම දුෂ්කරයි. මලිතු වාගේ ළමයෙකුට තියා අපටවත් යන්න එන්න බැහැ. මලිතු ගොඩක් දක්ෂයෙක්. අධ්‍යාපනයට වාගේම සුවිශේෂී ගායන හැකියාවක් තියෙනවා. ඉතින් මගේ එකම බලාපොරොත්තුව මලිතුට යහපත්වූ හෙට දවසක් උදා කරදීම. නමුත් ඒ ගමන අපි වාගේ දුප්පත් පවුලකට අසීරු ඉලක්කයක්. ඒ ඉලක්කය සපුරාගන්න හැකියාවක් තියෙන අයගෙන් මං කාරුණිකව ආයචනා කරනවා හැකි අයුරින් දෙනෙත් අහිමි මලිතුට පිහිට වෙන්න කියලා.

එන්. ජී. මලිතු යෙනුල් ජයසිංහ ශිෂ්‍යයා අධ්‍යාපනය හදාරන උස්සාපිටිය ශ්‍රී සුමංගල මහ විද්‍යාලයේ විදුහල්පති ජයසිංහ මහතා පැවසුවේ 2023 වර්ෂයේ අරණායක අධ්‍යාපන කොට්ඨාසයේ මාවනැල්ල කලාපයේ විවිධ දුෂ්කර පැතිවලින් පැමිණෙන දූ දරුවන් 178ක් උස්සාපිටිය සුමංගල මහ විද්‍යාලයේ ශිෂ්‍යත්ව විභාගය සඳහා ඉදිරිපත් වී ඉන් 55ක් ශිෂ්‍යත්වය සමත් වී තිබෙන බවය.

අරණායක සමූහ – රෝහණ ජයරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT