Saturday, May 10, 2025
Home » ආනපල්ලම විදුහල්පති රැක දෙන්නැයි විරෝධතා

ආනපල්ලම විදුහල්පති රැක දෙන්නැයි විරෝධතා

by sachintha
November 22, 2023 1:00 am 0 comment

වැල්ලවාය අධ්‍යාපන කොට්ඨාසයට අයත් ආනපල්ලම විද්‍යාලයේ විදුහල්පතිතුමන් ආරක්ෂා කර දෙන්නැයි ඉල්ලමින් පාසල් දරුවන්ගේ මවුපියන් පිරිසක් ආනපල්ලම විද්‍යාලය ඉදිරිපිටදී පෙරේදා (20) උදෑසන විරෝධතාවයක් පැවැත්වූහ.

පාසලට සම්බන්ධයක් නොමැති පුද්ගලයින් විසින් විදුහල්පතිතුමාගේ ගරුත්වයට හානි වන අයුරින් ලබා දුන් අදහස් දැක්වීමක් සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වීම හේතුවෙන් ඊට විරෝධය පළ කරමින් මවුපියෝ සියයක් පමණ මෙම උද්ඝෝෂණයට එක්වී සිටියහ.

ගම්වදින වන අලි පලවා හැරීම විදුහල්පතිතුමන්ට අදාළ කාර්යයක් නොවන බවත්, අලි කානුව තිබුණ ද අලි ගම් වැදීම නැවතී නෙමැති බවත් ඒවාට විසඳුම් ලබා දිය යුතු වන්නේ පවතින ආණ්ඩුව හා දේශපාලනඥයින් හා වනජීවී නිලධාරීන් බවත් පැවසූ ගම්වාසීහු විදුහල්පතිතුමාගේ ගෞරවයට හානි කළ පුද්ගලයින් එතුමාගෙන් සමාව ගත යුතු බව කියා සිටියහ.

විරෝධතාවය පැයකට අධික කාලයක් පැවති අතර මේ අවස්ථාවට වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීහු පිරිසක්ද පැමිණ සිටියහ. විරෝධතාකරුවන් හා සාකච්ඡා කිරීමට වැල්ලවාය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ එච්. ටී. ධර්මසිරි මහතා පැමිණි අතර ඒ මහතා අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.

ආනපල්ලම කියන්නේ වැල්ලවාය කලාපයේ තියෙන දීප්තිමත්ම පාසලක්. මේ විදුහල්පතිවරයාගේ දරුවන් තිදෙනාම අධ්‍යාපනය ලබන්නේ මේ පාසලේමයි. ඉතින් වන අලින්ගෙන් පාසලට කරදරයි නම් ආරක්ෂාවක් නැත්නම් එහෙම තමන්ගේ ළමයි මේ පාසලේ තියාගනියිද? ඒක නිසා විදුහල්පතිතුමා සම්බන්ධයෙන් අපිට කිසිම ගැටලුවක් පැමිණිල්ලක් නෑ.

එතුමා වෙනුවෙන් අපි පෙනී සිටිනවා. විදුහල්පතිතුමා පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා. අදාළ පුද්ගලයින් ගෙන්වලා පොලිසිය ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි. දැන් මවුපියන් විසිරී යන්න යැයි ඒ මහතා විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව පිරිස විසිර ගියෝය.

වැල්ලවාය විශේෂ – ජී. අයි. ආර්. ගරුසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT