ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබැස්ම කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක ප්‍රතිඵලයක් බව සඳහන් කරමින් පසුගියදා නිකුත් කළ මාධ්‍ය නිවේදනය පිළිබඳ කරුණු විමසීමට ඊයේ ක්‍රීඩාවලට සම්බන්ධ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට කැඳවූ ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පැය හතරහමාරක කාලයක් ප්‍රකාශ ලබා දුන් බව එම ඒකකයේ ප්‍රධානි, සහකාර පොලිස් අධිකාරී ජයනාත් වනසිංහ ‘දිනමිණ’ට කීවේය.
නීතිඥ ශිරාල් ලක්තිලක සමඟ විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණි ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ඊයේ සිදු කරනු ලැබුවේ ප්‍රකාශයේ එක් කොටසක් පමණක් බවත්, ඉතිරි කොටස ලබා ගැනීම සඳහා මේ මස 27 වැනිදා පස්වරු 2.00ට නැවත විශේෂ විමර්ශන ඒකකයේ පෙනී සිටින ලෙස දැනුම් දුන් බවත් සහකාර පොලිස් අධිකාරිවරයා කියා සිටියේය.
“උදෑසන 11.30 පමණ කාලයේ සිට පස්වරු 4. 00 දක්වා ඔහුගෙන් ප්‍රකාශ ලබා ගත්තා. එම ප්‍රකාශයේ ඉතිරි කොටස ලබා ගැනීමට ඔහුට නැවත ලබන 27 වැනිදාට විමර්ශන ඒකකයට එන ලෙසත් දැනුම් දුන්නා.” සහකාර පොලිස් අධිකාරිවරයා පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පසුබැස්මට හේතු වූ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ පසුපස ක්‍රිකට් ආයතනයේ බලය සඳහා සබැඳි පුද්ගලයන් ද, තරග පාවා දීමේ සූදුවේ නිරතව සිටින තැරුව්කරුවන් ද, ආත්මාර්ථකාමය පදනම්ව ජාතික කණ්ඩායම තුළ තම ස්ථානය තහවුරු කර ගැනීමට වෙර දරන පුද්ගලයන්ද සිටින බව තමාට නිරීක්ෂණය වන්නේ යැයි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සිය මාධ්‍ය නිවේදනයෙන් සඳහන් කර තිබිණි.
කෙසේ වෙතත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ මාධ්‍ය නිවේදනයේ කිසිවකුගේ නම් ගම් සඳහන් වී නැති බැවින් ඔහුගේ ප්‍රකාශය ලබා ගැනීමෙන් පසුව විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා සහ විමර්ශන නිලධාරි සමඟ සාකච්ඡා කර ඉදිරි සැලැස්ම කුමක්දැයි තීරණය කරන බවත් සහකාර පොලිස් අධිකාරි ජයනාත් වනසිංහ වැඩිදුරටත් කීවේය.
“ඉදිරියේදි මේ සම්බන්ධ ප්‍රකාශ ලබා ගැනීමට තව කාව හරි ගෙන්වනවද කියලා දැනට කියන්න බෑ .විමර්ශන නිලධාරි මම සහ ස්ථානාධිපතිවරයා සාකච්ඡා කරලා තමයි ඉදිරි සැලැස්ම මොකක්ද කියලා තීරණය කරන්නේ. කොහොමත් ප්‍රකාශය සටහන් කර ගත්තට පස්සේ කරුණු සියල්ල සලකා බලලා අපි නීතිපතිවරයාට වාර්තාවක් යොමු කරනවා. නීතිපතිවරයා තමයි තීරණය කරන්නේ මේ සම්බන්ධව ගත යුතු පියවර මොකක්ද කියලා.” සහකාර පොලිස් අධිකාරිවරයා එසේ කීවේය.
ඡායාරූපය – රංජිත් අසංක
ෆවුස් මොහොමඩ්