Home » දේශපාලනයෙන් තොරව ක්‍රිකට් රැකගැනීම හැමෝගේම වගකීමක්
කණ්ඩායම් 2ක් අතර අරගලයෙන් ක්‍රිකට් පිරිහුණා

දේශපාලනයෙන් තොරව ක්‍රිකට් රැකගැනීම හැමෝගේම වගකීමක්

ජනපති රනිල් මැතිසබයේදී පවසයි

by gayan
November 23, 2023 1:00 am 0 comment

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

කණ්ඩායම් දෙකක් අතර තිබෙන අරගලයක් හේතුවෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පිරිහී ගිය බවත්, දේශපාලන අතපෙවීමකින් තොරව ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කරගැනීමට සියලු දෙනා වෙත වගකීමක් පැවරී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේය.

ක්‍රිකට් පිළිබඳ ගැටලුවේදී කිසිවකු ආරක්ෂා කිරීමට තමාට අවශ්‍ය නොවන අතර කේ.ටී. චිත්‍රසිරි වාර්තාව පදනම් කරගනිමින් ක්‍රිකට් සඳහා නව නීතියක් ගෙන ඒමට කටයුතු කිරීම සුදුසු බව තමා අවස්ථා ගණනාවකදී යෝජනා කළ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පැවති අයවැය තෙවැනිවර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමිනි.

ජනාධිපතිවරයා, අගමැති කාර්යාලය, උපරිමාධිකරණ විනිශ්චයකාරවරු, අමාත්‍ය මණ්ඩල කාර්යාල, රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය, අධිකරණ සේවා කොමිෂන් සභාව ඇතුළු කොමිෂන් සභා, පාර්ලිමේන්තුව, විපක්ෂනායක කාර්යාලය, සභානායක කාර්යාලය ඇතුළු වැය ශීර්ෂ 25ක් පිළිබඳ විවාදය ඊයේ (22) පැවැත්විණ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය:

“පළමුවෙන්ම අයවැය දෙවැනි වර කියවීම ඊයේ (21) රාත්‍රියේ සම්මත කරගැනීමට හැකි වීම පිළිබඳ මගේ සතුට ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම ඒ සඳහා ඡන්දය දුන් මන්ත්‍රීවරුන් 120 දෙනාට මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ ශක්තියෙන් තමයි අප ඉදිරියට යන්නේ. අපිට විරුද්ධව 77 දෙනකු ඡන්දය දී තිබෙනවා. මා ඔවුන්ටත් ස්තුතිවන්ත වෙනවා. මොකද, ඔවුන් පෙන්වා තිබෙනවා ඔවුන්ට මේ සභාවේ සහාය නැති බව.

“ලක්ෂමන් කිරිඇල්ල මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා දැන් උසාවියට පාලකයන්ට විරුද්ධව තීන්දු ගන්න පුළුවන් කියලා. මමයි එය ඇති කළේ. ඒ නිසා මට විරුද්ධ වෙන්න එපා. ඔබතුමා පවසන ආකාරයට අපි ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර තිබෙනවා. ඒ නිසා අඩුම තරමින් මේ වැය ශීර්ෂයට අපට පක්ෂව ඡන්දය දෙන්න කියා මම ඉල්ලා සිටිනවා.

“හිටපු ජනාධිපතිතුමා නීතිඥයෙක්. එයා එයාගේ කටයුතු බලාගනී. මීට පෙර නඩු කියලා ඔහුට පුරුදුයි. ඔහු නිදොස් නම් නිදොස් කරයි. ඒ ප්‍රජාතන්ත්‍රවාදය අපි මේ රටේ ඇති කර තිබෙනවා. ඒ නිසා අප ඡන්දයට බිය බව කිසිවකුට ප්‍රකාශ කරන්න බැහැ. මම ලබන වසරේදී ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය යන මැතිවරණ දෙකම පවත්වනවා. ඊට පසු අවුරුද්දේ පළාත් සභා, පළාත් පාලන මේ සියලු මැතිවරණ පැවැත්විය හැකියි.

“පසුගියදා විපක්ෂනායක තුමා අප වෙත ප්‍රශ්නයක් යොමු කර තිබුණා. ඒ ගැන මම විශේෂයෙන් සඳහන් කරන්න කැමැතියි. ඒ පිළිබඳ මට වාර්තාවක් ලැබී තිබෙනවා. ඒබීසී එන්ටප්‍රයිසස් ත්‍යාගරාජා විනයමූර්ති, එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ හා තවත් 24 දෙනකුට විරුද්ධව නීතිපතිවරයා දමා තිබෙන නඩුවක්. ඒ නඩුව ගොනු කර තිබුණේ 2023, 2024 තුළ ත්‍රිකුණාමලය බන්ධනාගාරය සඳහා වියළි ආහාර සහ පාන් සැපයිමේ ටෙන්ඩරය ඒබීසී එන්ට්‍රප්‍රයිසස් සමාගම වෙත ලබාදීම හේතුවෙන් පෙත්සම්කරුගේ මානව අයිතිවාසිකම් කඩවී ඇති බවට තීරණය කිරීම සහ රුපියල් ලක්ෂ 25ක වන්දියක් ලබා ගැනීම සඳහායි. මේ ගැන අවශ්‍ය තොරතුරු මොනවද කියලා මට හරියට පැහැදිලි කළොත් මම නීතිපතිතුමාගෙන් අහලා ඒ බව දැනුම් දෙන්නම්.

“විශේෂයෙන් මට ලැබී ඇති වාර්තාවේ පෙන්වා දෙන්නේ, මෙහි සිදුව තිබෙන්නේ මූලික අයිතිවාසිකමක් උල්ළංඝනය කිරීමක් මිස අපරාධ නඩුවකට අවශ්‍ය තරම් සාක්ෂි ඒ අවස්ථාවේ නැති බවයි. ඒවා පිළිබඳ වෙනම නීති අනුව ක්‍රියා කළ යුතුයි කියා එහි සඳහන් වෙනවා.

ඒ නිසා මෙය පැහැදිළි කිරීමට මම බලාපොරොත්තු වෙනවා. මොකද මහජන විශ්වාසය (Public Trust) කියන එක තමා තිබෙන ගැටලුව. අප සියලු දෙනා ළඟ මහජන විශ්වාසය තිබෙනවා. මෙහි කියලා තිබෙන්නේ හිටපු ජනාධිපතිතුමා අවශ්‍ය පියවර ගත්තේ නැහැ කියලා. ඉන් අනතුරුව කුමක්ද සිදු වුණේ කියා අප පුළුල් විග්‍රහයක් කළ යුතුයි.

“අපේ සම්ප්‍රාදය වන්නේ විපක්ෂනායකවරයාට ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා කළ විට බහුතරය ඇත්නම් එතුමා එය පිහිටුවීමයි. අපේ විපක්ෂනායකතුමා ඒක කළේ නැහැ. එයත් මහජන විශ්වාසය කඩකිරීමක්. එදා මට ලැබුණ අගමැතිකම රාජපක්ෂලා දුන්න එකක් නෙවෙයි. ඔබතුමන්ලා දන්නවා මන්ත්‍රීවරුන් ඇවිල්ලා මට කිවුවා එය භාර ගන්න කියලා. හිටපු ජනාධිපතිතුමා මට එන්න කිවුවා. මම ගියා. මම එය භාර ගත්තා. මම සියලු දෙනාගේ සහාය ඉල්ලුවා මේ රට ගොඩ ගන්න. මහජන විශ්වාසයට අනුව මට සහයෝගය දිය යුතුයි.

මම මේවා කරන්න ගිය විට මගේ නිවෙස ගිනි තිබ්බා; ඒ විතරක් නොවෙයි, පාර්ලිමේන්තුව වැටලුවා. විපක්ෂය මට කිව්වා ඉල්ලා අස්වෙන්න කියලා. මම කිවුවා බහුතරයක් තිබෙන කවුරු හරි ඉන්නවනම් එන්න එවිට මම ඉල්ලා අස්වෙන්නම් කියලා. එදා පාර්ලිමේන්තුව වටලන්න ආපු වෙලාවේ මොකක්ද වුණේ හමුදාපති ආ විට පක්ෂ නායකයින් පැනලා ගියා. අවසානයේ මට හමුදාපතිට කියන්න සිදුවුණා පාර්ලිමේන්තුව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඕනෑම පියවරක් ගන්න කියලා. අපි මේ සියල්ල විභාග කරමු. කවුද වගකියන්නේ, කවුද වගකියන්නේ නැත්තේ කියලා එවිට පෙනී යයි. ඔබතුමාගේ යුතුකම ඔබතුමා කළා. මගේ යුතුකම මම කරනවා. මම නම් කියන්නේ කාලය නාස්ති කරන්න අවශ්‍ය නැහැ කියලා. එහෙත් කරන්න අවශ්‍ය නම් ඒ සියල්ල කරමු.

“ඒ වගේම ක්‍රිකට් පිළිබඳ මෙතන ප්‍රකාශ වූ නිසා මමත් ඒ ගැන වචනයක් කියන්න කැමතියි. එක් එක් පුද්ගලයන් ආරක්ෂා කරනවා කියලා මටත් චෝදනා කර තිබුණා. ක්‍රිකට් ප්‍රශ්නය දීර්ඝකාලීන ප්‍රශ්නයක්. කණ්ඩායම් දෙකක් අතර තිබෙන අරගලයක් නිසා ක්‍රිකට් පිරිහුණා. ඒක ඇත්ත. ඒ සඳහා තිබෙන විසඳුම් ලෙස අප සෑම අවස්ථාවකම පෙන්වා දුන්නේ නීතියක් ගෙනවිත් එම නීතිය අනුව හරි කණ්ඩායමක් තෝරා ගැනීමයි. ඒ නීතිය ගෙන ඒම සඳහා තමයි අප චිත්‍රසිරි වාර්තාවත් ගෙන එම නීතිය සකස් කරන්න කියලා කිවුවේ. එදා මම ඇමතිතුමාට කිවුවා මේ නඩුව ඔය විදියට ගෙනයන්න එපා, මෙහෙම වුණොත් අපට අයිසීසී නැති වෙනවා. ක්‍රිකට් තරග නැතිවෙනවා. ඒ වගේම සංචාරකයන් නැති වෙනවා කියලා. ඒ වගේම නඩුවකට ගියොත් එයින් නිදහස් වෙන්න බැහැ කියලා. කැබිනට් මණ්ඩලය තුළත්, ඉන් පසුවත් අප මේ පිළිබඳ සාකච්ඡා කළා.

“ඇමතිතුමා කිවුවා ඔහුට නීතිඥයෙක් අවශ්‍යයි කියලා. මම කිවුවා හෙට මේ අය නඩු දාන්න යනවා කියලා ආරංචියක් ආවා. ඒ නිසා ඔබතුමා සූදානම් වෙන්න කියලා. නීතිපතිතුමත් එහි සිටියා. හිටපු ජනාධිපතිතුමත් හිටියා. අපි නීතිපතිතුමාට කිවුවා මෙතුමා වෙනුවෙන් පෙනී සිටින්න කියලා. මෙතන වුණේ මේ අය යන විට 10.30යි. එතකොට නඩුව ඉවරයි. මොකක්ද සිදු වුණේ කියලා සොයා බැලිය යුතුයි. මම ඒ පිළිබඳ ඇමතිතුමාගෙන් වාර්තාවක් ඉල්ලීමට බලාපොරොත්තු වෙනවා. ඇතැම් විට එතැනට ගියා නම් කුමන තීන්දුවක් ලැබෙයිද කියලා මම දන්නේ නැහැ. ඒත් තරග තිබෙන මෙවැනි අවස්ථාවක උසාවියෙන් යම් තීන්දුවක් ලැබිය යුතුයි. මෙම තහනම් නියෝගය වලංගුද, නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඒ අවස්ථාවේ මම අයිසීසීය සමඟත් කථා කළා. ඔවුන් කිවුවේ ඔබලා දේශපාලනය ගෙනැවිත් මෙයට මැදිහත් වුණා කියලා. මට ෂම්මි සිල්වා ආරක්ෂා කරන්න අවශ්‍යතාවක් නැහැ. විවිධ චෝදනා තිබෙනවා. ඒකයි මම කියන්නේ නීතියක් ගෙන ආ යුතුයි කියලා.

“දැන් අපට විරුද්ධව චෝදනා 2ක් තිබෙනවා. එකක් තමයි: මේ සභාව ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවාහැරීම. මම කිවුවා ඇමැතිතුමා කළ දේ නීත්‍යනුකූලද නැද්ද කියලා අධිකරණය තීන්දුවක් දෙයි කියලා. අනිත් චෝදනාව වන්නේ පාර්ලිමේන්තුව මීට එකතු වීමයි. ඇමැතිතුමා ප්‍රකාශ කළ ගමන් විපක්ෂය නැගිට එය සම්මත කළා. එවිට කොහොමද මෙහි දේශපාලනය නැහැ කියන්නේ.

“දැන් සිදුවූ දේ වුණා. කාටවත් දොස් කියලා වැඩක් නැහැ. වැරැද්ද මේ සභාව පිළිගත යුතුයි. අපේ නිමල් සිරිපාල ද සිල්වා මහත්මයා නැගිටලා විනිශ්චයකාරවරුන්ගෙන් සමාව ඉල්ලුවා. මොකද, අපි කළේ වැරදි වැඩක්. විනිශ්චයකාරවරුන්ට බැන්නා. ඇයි ඔවුන්ට දොස් කිවුවා.

එය තාවකාලික නියෝගයක්. අවශ්‍ය නම් ඊළඟ දවසේ ගිහින් විසුරුවාහරින්න කියලා කියන්න තිබ්බා. ඕක හැමදාම වෙන දෙයක්. ඒ වෙනුවෙන් විනිශ්චයකාරවරුන්ට එක එක චෝදනා කළා. මේ මම තෝරපු කෙනෙක් නෙවෙයි, අග්‍රවිනිශ්චයකාරතුමා විසින් තෝරලා දැනුම් දුන්නා රාජකරුණාව අභියාචනාධිකරණයේ සභාපති කරන්න කියලා.

“ඒත් මෙහෙම කරන්න බැහැ. පාර්ලිමේන්තුවේ ඉදලා වරප්‍රසාදවලට මුවා වෙලා මේ විදියට ගහන්න බැහැ. මෙතන වරප්‍රසාදයක් නැහැ. ස්ථාවර නියෝග අනුව එම යෝජනාව සම්මත කළේ නැහැ. සභාව කොහොමද මේ වැඩකටයුතු කරන්නේ. අපේ වැඩ අපිට තිබෙනවා. අධිකරණයේ කටයුතු අධිකරණය කරයි.

“මම සෑම අවස්ථාවකම කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන වගන්තියට අත තබන්න බැහැ කියලා. මම කිසි දවසක විනිශ්චයකාරවරයකුට දොස් කියලා නැහැ. නඩු තීන්දු විවේචනය කරන්න අපට පුළුවන්. නමුත් විනිශ්චයකාරයෙකුට චෝදනා කරන්න බැහැ. එසේ කරනවානම් ස්ථාවර නියෝග යටතේ එය සිදු කළ යුතුයි. එසේ නැත්නම් අපට වරප්‍රසාද ඉල්ලන්න බැහැ. ඇයි අපි මේ සභාව එම තත්ත්වයට පත් කරන්නේ. මීට පෙර මෙලෙස සිදු වී නැහැ. ඒකයි මට කනගාටු.

“නෙවිල් සමරකෝන් මහත්මායට විරුද්ධව කටයුතු කරන්න අපට සිදු වුණා. පළමුව අපි ස්ථාවර නියෝග ගෙනවිත් එතුමාගේ ක්‍රියාකලාපය සාකච්ඡා කිරීමට අවසර ගත්තා.

අනික රැකව මැතිතුමා කියන්නේ 70 ගණන්වල එක්සත් ජාතික පක්ෂයේ අප සමඟ එකට වැඩ කළ අයෙක්. අවසානයේ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඔහුට කිවුවා ඡන්දයට ඉදිරිපත් වෙන්න කියලා. ඔහු මේ සභාවේ උපසභාපති ලෙස ක්‍රියා කළා. ඒ පුද්ගලයාට ඇයි අප පහර ගහන්නේ? ඔහු ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින් විශ්වාස තැබූ කෙනෙක්. මම විශ්වාස කළ කෙනෙක්.

මම එතුමාව වියට්නාමයේ තානාපති ලෙස යැවුවා. ඇයි එතුමා ආවේ? මම එතුමාව දන්නවා. මීට වඩා කියන්න දෙයක් නැහැ. එතුමා හොඳ මහත්මයෙක්. ඒ වගේම පුතාවත් මම දන්නවා. ඔවුන් මේ වැඩවලට සම්බන්ධවෙයි කියලා මම හිතන්නේ නැහැ. ඒකමයි මම කනගාටු වුණේ. අපි එක්ක ඉදලා. අපට වැඩ කරලා අප දැන් ඒ මනුස්සයටයි, එයාගේ පුතාටයි ගහනවා.

එදා මේ අය ආවා ජනාධිපති මන්දිරයට. අප ඡායාරූපයක් ගත්තා. ඕක ලොකු දෙයක්ද? මම අවශ්‍ය නම් මේ සභාවේ ඕන අයකුට එහි පිටපතක් දෙන්නම්. මට ඒක ගැටලුවක් නොවෙයි. කරුණා කරලා මේවා ඇදගන්න එපා. මම මේ පිළිබඳ කනගාටු වෙනවා. මෙහිදී අප ස්ථාවර නියෝග පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. අපිට අධිකරණය සමඟ රණ්ඩුවකට යන්න බැහැ.

ඒ වගේම ව්‍යවස්ථාදායක මණ්ඩලය පාර්ලිමේන්තුවේ කොටසක් නොවෙයි; විධායකයේ කොටසක්. ඒ නිසා ඔබ කරන ඕනෑම කටයුත්තකට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන්න පුළුවන්. එය අප මතක තබාගෙන යා යුතුයි.

“අප දූෂණ විරෝධි කොමිෂන් පනත ගෙනාවා. කොමසාරිස්ගේ නම් එන තෙක් මම බලාගෙන ඉන්නවා. දැන් මාස 3ක් ගිහින් තිබෙනවා. අපි දූෂණය ගැන කථා කරනවා. මේ කොමිසමේ නම් ටික එවන්න බැහැ. මොකද දෙතුන් දෙනෙක් ප්‍රශ්න නඟනවා. අප නීතිපතිතුමාගෙන් ඇහුවා. එක වචනයක් වැරදුණා කියලා එය ප්‍රශ්නයක් නොවෙයි, පත්වීම් කරන්න නම් එවන්න කියලා මම කිවුවා. ඕන කෙනකුට මට විරුද්ධව නඩු දාන්න පුළුවන්. ඒක අපි බලාගන්නම්. අපි දූෂණයට විරුද්ධ නම් අපිට මේ පත්කිරීම් කරන්න තිබ්බා. කවුද මේකට විරුද්ධව අධිකරණයට යන්නේ. ගියානම් මේ කාරණය කියන්න තිබ්බා. තවම මේක අනුමත කරගන්න බැරි වෙලා තිබෙනවා. මෙහෙම ව්‍යවස්ථාදායක සභාවක් ගෙනයන්න බැහැ.

“මම යෝජනා කරන්නේ අපි තේරුම් කාරක සභාවක් දාලා, කොහොමද මේක ගෙනියන්නේ කියලා කතා කරමු. දැන් මේකෙන් මුළු අධිකරණයම හිර වෙලා. මම අගමැතිතුමාට යෝජනා කරනවා ඔබතුමා ඒක කථා කරලා අපි තේරීම් කාරක සභාවක් දාමු මොකක්ද ඉදිරියේදී සිදු විය යුත්තේ කියලා. අනික මේ සභාව තිබෙන්නේ නීති සම්මත කරගැනීමටයි. අපි සමහර විට එක දෙක වෙනකල් වැඩ පටන් ගන්නේ නැහැ. ජනතාව අපිට ගෙවන්නේ රඟපාන්න නෙවෙයි, නීති සම්මත කරගන්න. ඉතින් මම යෝජනා කරනවා, ඒ වගේම කැබිනට් මණ්ඩලය සමඟ කතා කරනවා අලුත් සංශෝධනයක් ගේන්න කියල පළමුවැනි පැයෙන් පස්සේ ප්‍රධාන වැඩකටයුත්තට යන්න ඕන. දැන් ලබන වසරේ නව නීති ගණනාවක් ගෙන්න තිබෙනවා. තවත් මේවා කල් දමන්න බැහැ.

“ලබන වසරේ මන්ත්‍රීවරුන්ට තමන්ගේ ආසනවලට යන්න තිබෙනවා. සංවර්ධන වැඩකටයුතු තිබෙනවා. ඔය අතර මෙතන හිර වෙන්නත් බැහැ. ඒ නිසා මම යෝජනා කරන්නේ පළමු පැයෙන් පස්සේ ප්‍රධාන වැඩකටයුතු ආරම්භ කිරීමටයි. මේ කරුණු පැහැදිලි කරන්නයි මම බලාපොරොත්තු වුණේ. ඒ වගේම විපක්ෂයට මේ ගැන තවත් කරුණු පැහැදිලි කරන්න අවශ්‍ය නම් ඒ පිළිබඳ කටයුතු කළ හැකියි.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT