SLT සමූහ ව්‍යාපාරය 2023 සැප්තැම්බර් 30 දිනයෙන් අවසන් වූ තෙවන කාර්තුව සඳහා මධ්‍යස්ථ වර්ධනයක් සහිතව සිය මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර ඇත. SLT PLC හි ආදායම 3.7% ක වර්ධනයක් සමඟින් රු. මිලියන 17,490ක් ලෙස වාර්තාවන අතර, Mobitel සමාගම 2022 වර්ෂයේ තුන්වැනි කාර්තුවට සාපේක්ෂව මෙම කාර්තුවේදී 2.7%ක අව-වර්ධනයක් වාර්තා කර ඇත.
කාර්තුව සඳහා සමූහයේ ඒකාබද්ධ ආදායම රු. බිලියන 27.7ක් ලෙස වාර්තා වූ අතර, එය පෙර වර්ෂයේ අදාළ කාර්තුව සඳහා වාර්තාවුණු රු. බිලියන 26.7ක ආදායමට සාපේක්ෂව 3.9%ක වර්ධනයකි. මූලික වශයෙන් Broadband, PEOTV සහ Enterprise ආදායම් මාර්ග හේතුවෙන් SLT PLC හි ආදායම ඉහළ ගොස් ඇත. කාර්තු කිහිපයක් පුරා ආදායම් වර්ධනයේ පහළ යාමක් වාර්තාකළ Mobitel නැවත වරක් සාධනීය ප්‍රවණතාවක් පෙන්නුම් කරමින් 2023 දෙවැනි කාර්තුවට සාපේක්ෂව 2023 තුන්වැනි කාර්තුවේදී 3%ක ආදායම් වර්ධනයක් වාර්තා කරගෙන තිබේ.
SLT සමූහයේ මෙහෙයුම් පිරිවැය, 2022 වසරේ තුන්වැනි කාර්තුවට සාපේක්ෂව 13.3% කින් ඉහළ ගොස් රු. බිලියන 19.7ක් ලෙස වාර්තා වී ඇත. විදුලි ගාස්තු සහ අලුත්වැඩියා හා නඩත්තු වියදම් ඉහළ යාම මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත. ආදායම ඉහළ ගියද, එමඟින් පිරිවැය ඉහළ යාම ආවරණය කිරීමට SLT අසමත් වී ඇති අතර, එය SLT හි ලාභදායීත්වයට බලපෑමක් එල්ල කර තිබේ.
2023 සැප්තැම්බර් 09 දිනයෙන් අවසන් වූ මාස 9 සඳහා SLT සමූහයේ මෙහෙයුම් පිරිවැය රු. බිලියන 57ක් වූ අතර, මෙය පසුගිය වසරේ අදාළ කලසීමාවේ වාර්තා වූ රු. බිලියන 49.6ට සාපේක්ෂව 14.9%ක ඉහළ යාමකි. විදුලි ගාස්තු වැඩි වීම, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම සහ ආනයන සීමා පනවා තිබීම ආදි ආර්ථිකමය සාධක මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත. SLT සමූහයේ අනුබද්ධ සමාගමක් වන Mobitel හි ලාභදායීත්වය පහළ යාම, SLT සමූහයේ 2023 තුන්වැනි කාර්තුවේ මූල්‍ය ප්‍රතිඵලවලට දැඩි ලෙස බලපා ඇත. ප්‍රධාන වශයෙන් Mobitel හි මෙහෙයුම් ඉපැයුම් ආදායම (EBITDA) පහළ යාම නිසා, සමූහයේ මෙහෙයුම් ඉපැයුම් ආදායම (EBITDA) පසුගිය වසරේ තුන්වැනි කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ තුන්වැනි කාර්තුවේදී 13.7% කින් අඩු වී තිබේ. ආදායම අඩු වීම සහ මෙහෙයුම් වියදම් වැඩි වීම නිසා Mobitel හි 2023 තුන්වැනි කාර්තුවේ මෙහෙයුම් ඉපැයුම් ආදායම පහළ ගොස් ඇත. ඊට සමගාමීව මෙම කාර්තුවේදී සමූහයේ මෙහෙයුම් ලාභය 81%කින් පහළ ගොස් තිබේ. ප්‍රධාන වශයෙන් Mobitel සමාගම වාර්තා කළ මෙහෙයුම් අලාභය සහ SLT PLC හි මූල්‍ය වියදම් ඉහළ යාම හේතුවෙන් සමූහයේ බදු-පසු ලාභය 208% කින් පහළ ගොස් ඇත.
කෙසේ නමුත්, 2023 දෙවැනි කාර්තුවට සාපේක්ෂව 2023 තුන්වැනි කාර්තුවේදී සැලකිය යුතු මට්ටමකින් Mobitel සමාගමේ ලාභදායීත්වය වර්ධනය වී තිබේ. ආදායම වර්ධනය වීම සහ ව්‍යාපාරික පරාමිතීන් ප්‍රශස්තකරණය කිරීම හේතුවෙන් එහි මෙහෙයුම් ඉපැයුම් ආදායම (EBITDA) 36% කින්, පොලී සහ බදු පෙර ඉපැයීම් (EBIT) 93% කින් සහ බදු පසු ශුද්ධ ලාභය 44%කින් ඉහළ ගොස් ඇත. Mobitel තුළ ක්‍රියාවට නංවනු ලබන පිරිවැය පාලන විධිවිධාන සහ ආදායම වැඩිකරගැනීමේ වැඩසටහන් සමඟ අඩුවන මූල්‍ය වියදම්, ඉදිරියේදී සමූහයේ ලාභදායීත්වය යහපත් ප්‍රවණතාවක් කරා නැවත රැගෙන ඒමට තීරණාත්මක ලෙස බලපානු ඇත.