Saturday, May 10, 2025
Home » අනේ අපි වගේ අන්ද්‍රේලා

අනේ අපි වගේ අන්ද්‍රේලා

by gayan
November 23, 2023 1:00 am 0 comment

පළවෙනි ලෝක යුද්ධයෙන් පසු කඩා වැටුණු ආර්ථිකය සම්බන්ධයෙන් ප්‍රංශයේ නිර්මාණය වූ කතාබහ අයිෆල් කුලුන දක්වා ඉහළ නැග්ගේය. කඩා වැටුණු ආර්ථිකය හමුවේ අයිෆල් කුලුනේ නඩත්තු බර දරා ගැනීමට නොහැකි හෙයින් එය විකුණා දැමීම යෙහෙකි යැයි 1925 වසරේ ප්‍රංශ මාධ්‍යවේදියෙක් වාර්තාවක් පළ කළේය. ඒවා ‘තරම ඉක්ම වූ කතා’ වුවද ඕවා සීරියස් ලෙස ගත් කල්හි ‘ගේමක්’ ගසා ගත හැක්කේය.

මේ ලිපිය කියවූ වික්ටර් ලුස්ටිග් අයිෆල් කුලුන විකිණීම ‘ඩීල් එකක්’ බවට පත් කර ගන්නේය.

පළමුව ඔහු තමන්ව ‘පැක්’ කර ගන්නේය. එතැන් සිට ඔහු ප්‍රංශ තැපැල් සහ විදුලි සංදේශ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකි.

ප්‍රංශයේ සිටින ධනවත් ලෝහ කර්මාන්ත ශාලා හිමියන් පස් දෙනෙක් ‘නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා’ රහසිගත ලෙස හමුවන්නේය. ස්ථානය ප්‍රංශයේ ඉහළම පන්තිය හමුවෙන හෝටලයකි. රහසිගත ආකාරයෙන් සිදු වෙන මෙම විශ්වාසදායි හමුවේ මාතෘකාව වන්නේ යකඩ බරට අයිෆල් කුලුන විකුණා දැමීමය. බඩු මිලට ගන්නා විසින් ගලවා ගැනීමේ පිරිවැය ද දැරිය යුතු බවට වන කොන්දේසියකි. රහසිගත ආකාරයෙන් මෙසේ ලංසු තබනුයේ, ජනතාව කලබලයට පත් වීම වළක්වාලීමටය. ප්‍රසිද්ධ වෙන්දේසියේ වුව ද මේ සඳහා ඉහළම ලංසු තබනුයේ මෙම ව්‍යාපාරිකයන් පස්දෙනා බව ‘අමාත්‍යාංශය’ තීන්දු කර ඇති හෙයින් මේ ගනුදෙනුව සඳහා රජය රහසේ කටයුතු කරන බව දැනුවත් කරමින් අදාළ ලංසු තමන්ට ලබා දෙන ලෙස වික්ටර් ලුස්ටිග් ව්‍යාපාරිකයන් වෙත කියා සිටියේය.

අන්ද්‍රේ පොයිස්සන්ස් නම් ව්‍යාපාරික තෙමේ, ෆ්රෑන්ක් 250000 ක ලංසුවක් තබා, අයිෆල් කුලුන ‘මස්’ කිරීමේ වැඩේ අතට ගන්නේය. වැඩේ තීන්දු වූ පසු වික්ටර් ලුස්ටිග් ‘තමන්ගේ වැඩේ’ ආරම්භ කළේය. උදේ හවා, ව්‍යාපාරික අන්ද්‍රේ හමු වෙමින් ‘දත ගලවන්නට’ පටන් ගත්තේය.

අදාළ ලියකියවිලි සහ අවශ්‍ය පමණට සේවක කාරකාදීන් ද රැගෙන අයිෆල් කුලුන ‘පහත් කිරීම සඳහා යන සඳ, තමන්ගේ කුලුන බිමට පහත්ව ඇති බව අන්ද්‍රේ දැන ගන්නේය.

වික්ටර් ලුස්ටිග් ගනුදෙනු නිමවා, තම උපන් බිම වූ ඔස්ට්‍රියාවට පැන ගොස් තිබුණි.

මේ ජාතියේ අනාවරණයක් පසුගියදා කෝපා කමිටුව හමුවේ විවර විය. දැන් කෝප් කමිටුව වනාහි කටට ඇඟිල්ල තබා ‘එන එකාගේ සාක්ෂිය’ කලින් ප්ලෑනට අනුව හසුරුවන තැනක් හෙයින් වංචා දූෂණ සඳහා ඒ මත්තේ අප තැබූ බලාපොරොත්තුව සුන්ව ගොස් තිබේ. පුතා ද පැත්තකින් වාඩිලා ගෙන ‘වාඩියමංකඩ’ පැත්තේ බංකුවක වාඩි වී ‘රා අඩ්ඩක්’ ගසන ගැන්සියක් සේ, කෝප් එක, ක්‍රිකට් බෝඩ් එකට සැලකුවේය. ශම්මිගේ දඟ පන්දුවට කඩුල්ල මුවා කළ කෝප් කමිටුව ගැන තීන්දුව ‘තර්ඩ් අම්පයර්’ ඉදිරියේ ඇති බැවින් අද මේ තීරුවේ කතාව, කෝපා ගැනය.

ලක් විජය තාප විදුලි බලාගාරයට ගල් අඟුරු ගෙන ඒමේදී අය කර ගත් බදු මුදලින්, සියයට හැත්තෑවක් රේගුවේ නිලධාරීන් තෑගි සහ වෙල්ෆෙයාර් ලෙස වෙන් කර ගෙන, බෙදා හදාගෙන තිබුණි. ගල් අඟුරු ගෙන ඒමේදී නිවැරැදි තොරතුරු අනාවරණය නොකිරීම මත අඩුවෙන් අය කර තිබූ රුපියල් කෝටි 18 කට ආසන්න වැට් බද්ද, අතිරේක බද්දක් ලෙස අය කර ගත හැකිව තිබුණි. මේ ගල් අඟුරු ගෙන්වන්නේ ආණ්ඩුවෙන් නිසා, එතැන බදු අඩු වැඩිය යනු ‘කොළය සඳහා බැලන්ස්’ කිරීමක් පමණය. බදු අඩුවෙන් ගත්ත ද වැඩියෙන් ගත්ත ද යළි ඒවා කැරකී එන්නේ මහා භාණ්ඩාගාරයටය. ඒත් ටෙක්නිකලි බද්ද ගසා තිබුණේ අඩුවෙන් නිසා ‘හරි බද්ද’ ගැසිය යුතුය. රේගුවේදී වැඩේ එහෙම වුණේ නැත. බද්ද වෙනුවට දඩයක් ගසනු ලැබීය. රුපියල් කෝටි 20කට වැඩි දණ්ඩනයක් පනවා, දඩයෙන් සියයට හැත්තෑවක් නිලධාරීන්ගේ ත්‍යාග සහ සුබසාධනය වෙනුවෙන්, රේගුව වෙන් කර ගත්තේය.

ආණ්ඩුවට ද දඩ ගසා, තෑගි ගන්නා මේ ගැන්සිය වූ කලි අයිෆල් කුලුන යකඩ සඳහා මස් කිරීමට ‘ගේම් ප්ලෑන’ ලබා දුන්, වික්ටර් ලුස්ටිග් යළි කොළඹ බලා ඒමකි.

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ මේ ගැන කතා වුව ද එයට ඇක්ෂන් එක වනාහි මෙවන් දේ ඉදිරියට නොවීම සඳහා මහා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර කටයුතු කරන බව පමණය. ඒ කියන්නේ ‘සම්භවය පන්නයේ දඩ කෙළියට’ අවුලක් වී නැති බවය. තර්කයට ‘ඔව්’ වුව ද මේවා පැහැදිලි ගසාකෑම්ය. දැක්ක ගමන් නාගසලන් වන විදුලි බිලක් අප ගෙවන්නේ ඔය වගේ සීන් සඳහා දඩ ද එකතු කරගෙනය.

නැඟෙනහිර පළාතේ ජල සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් පෞද්ගලික ආයතනයක් ගුදම් නිදහස් කිරීමේදී ව්‍යාජව සැකසූ දේශීය තොරතුරු ඉදිරිපත් කළේය. ඩොලර් 5139621ක් ලෙස මුදල්ගත කර තිබූ භාණ්ඩ නිදහස් කිරීමේදී දේශීයව සැකසූ ව්‍යාජ ලේඛන මඟින් අ‍ෙමරිකානු ඩොලර් 6350364ක් ලෙස වටිනාකම දක්වා අමෙරිකානු ඩොලර් දොළොස් ලක්ෂ දහදාහකට අධික වාසියක් මේ ආයතනය ලබා ගත්තේය. එක දවසේ කෝපා එකට මේ ජාතියේ කේස් දෙකක් මාට්ටු වුණා කියන්නේ මේ ගැන්සිය, වික්ටර් ලුස්ටිග් වගේමය.

යළි ප්‍රංශයට එන වික්ටර්, අයිෆල් කුලුනේ වැඩේට තව ගැනුම්කාරයෙක් අල්ලා ගත්ත ද බඩු වැඩ කළේ නැති හෙයින්, අමෙරිකාවට පැනගෙන එදා ගේම ෂේප් කර ගත්තේය. කෝපා එක ඉදිරියේ කේස් දෙකක් පත්තු වුණ ද වහා ලිස්සා ගොස් රේගුවේ ‘බඩු ටික’ එතැනින් පැන ගත්තේය. උන් එතැනින් පැන ගත්තාට ඕවා මත්තේ ලිස්සා වැටෙන්නේ අපය. අපි අතපය කඩා ගන්නෙමු. මුන් ආණ්ඩුවව ද දඩ ගසා යෙහෙන්ය.

දැන් කරන්නට දෙයක් නැත. රේගුව ඇත්තේ නෙලුම් කුලුන පෙනෙන මානයේ බැවින් මේ සත්තු අයිෆල් කුලුනේ වැඩේ ලෝටස් ටවර් එකට ද දිය හැකි බැවින් දෙක පුළුවන් ආකාරයට ඈත් මෑත් කිරීම වනාහි දැනට අපේ විසඳුමය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT