- අද ඉහළ තැන්වල ඉන්නේ පළමුව මවුබසින් ඉගෙන ගත් අයයි
- අභ්‍යන්තර බල අරගල කෙළවර වුණේ අපට නුහුරු නුපුරුදු ඉංග්‍රීසිය රාජ්‍ය භාෂාව වීමයි
- මවු භාෂාවෙන් අධ්‍යාපනය ලැබීම ගුණාත්මක ඉගෙනීමට ප්‍රධාන සාධකයක්
ඉංග්‍රීසි මාධ්‍යයෙන් රට පුරා පාසල්වල අධ්‍යාපනය දිය යුතුය යන අදහස ඉකුත් දා විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉදිරිපත් වීමත් සමඟ ඒ පිළිබඳ කතිකාවතක් ඇති වී තිබේ. රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවලින් කාටත් පහසුවෙන් කටයුතු ඉටු කරවා ගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීමට ගෙන තිබෙන ක්‍රියාමාර්ග ඇතුළු කරුණු කාරණා පිළිබඳ රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ ධර්මසේන කලංසූරිය මහතා සමඟ කළ සාකච්ඡාව මෙසේ දක්වමු.
l ඉංග්‍රීසි මාධ්‍යයෙන් රට පුරා පාසල්වල අධ්‍යාපනය දිය යුතුය යන කාරණය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
මීට ප්‍රවේශ වෙන්නට කලින් අතීතය ගෙනහැර දක්වන්නට මම කැමැතියි. ක්‍රි.ව. 1815 තරම් දුරකට මේ කතාව දිව යනවා. විදේශිකයන් මෙරට බලය පැතිරවීමත් සමඟ පරිපාලන භාෂාව වුණේ ඉංග්‍රීසියයි. කැමරන්, ඩොනමෝර් කොමිෂන් සභා ආදියෙන් කුළු ගැන්වුණේ ඉංග්‍රීසි භාෂාව වගත් අමුතුවෙන් කිව යුතු නැහැනේ. අධ්‍යාපන භාෂාව වුණෙත් එයමයි. ඒ අනුව ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලැබීමේ වරම ලැබුණේත් සුළුතරයකටයි. එය දඩමීමා කර ගනිමින් බහුතරයක් සාමාන්‍ය ජනතාව තළා, පෙළා දමන්නට ඉංග්‍රීසීන් ඇතුළු විදේශිකයන් පමණක් නොවෙයි, ඉංග්‍රීසිය උගත් දේශීයයන් සුළුතරයකුත් කටයුතු කළ බවත් නොරහසක්.
l එය අධිරාජ්‍යවාදීන්ට නතු වූ සෑම රටකටම පොදුවේ අත්වූ ඉරණමක් නේද?
එච්චර සරල නැහැ. මතුපිටින් බලන කෙනකුට එහෙම හිතෙන්න පුළුවන්. පහුගියදා විපක්ෂ නායකවරයා කළ අදහස් දැක්වීම වුණත් ඔය කියන විදිහට ‘ෂෝක් නේද?’ කියලා කෙනෙක් කල්පනා කරනවා වෙන්නත් පුළුවන්. ඒත්, ඒ පිටුපස ඇති ඇත්ත එච්චර සරල නැහැ. අනෙක, මේ වගේ ගැති අදහස් අද ඊයේ මතු වූ ඒවා නොවෙයි. බොහෝවිට ඒ පිටුපස සංවිධානාත්මක යන්ත්‍රණයක් පැවතුණා. මේ කියන්නේ ඒ ගැනයි. ඒ මිසෙක ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනෑ නැහැ කියන එක නොවෙයි. තරගකාරී ලෝකය එක්ක ඉදිරියට යෑමේදී ඉංග්‍රීසි පමණක් නොවෙයි, වෙනත් විදෙස් භාෂා දැනුමත් අතිශය වැදගත්.
රජය ඊට පහසුකම් සැලසීමත් කාලෝචිතයි. මේ වන විටත් චීනයේ ඇතැම් විද්‍යාර්ථීන් සිංහල ඉගෙන ගන්නවා. ඔවුන් මෙරට විශ්වවිද්‍යාලවලදීත් අධ්‍යාපනය ලබනවා. භාෂාවක් පවතින්නේ එවිටයි. වැඩි වැඩියෙන් භාවිත වන විටයි.
l එහෙම නම් සිංහල, දෙමළ භාෂා යටපත් කර ඉංග්‍රීසි මතු කළ යුතු ද?
මෙහෙමයි. එහෙම කල්පනා කරන්න රුකුල් දෙන වාතාවරණයක් අද ඇති වෙලා තියෙනවා. ඒ අදහස පැතිරවීම වුණත් එක දවසකින්, මාසෙකින්, අවුරුද්දකින් වුණේ නැහැ. බොහෝවිට සැලසුම්සහගතවයි ජනතාවට හුරු කළේ. අනෙක, මෙතැනදී පොදු ජනතාවට පැහැදිලිවම අසාධාරණයක් වෙන්නේ. අදටත් මෙරට සංස්කෘතිය, සදාචාරය, සංවේදිතාව පිළිබඳ සමාජය තුළින්ම ප්‍රශ්න කෙරෙනවානේ. ඒත්, ඒක එහෙම වුණේ ඇයි? ඊට හේතු මොනවාද කියලා අඩු අවධානයක් යොමු වෙන්නේ. හැබැයි, රටක් කඩා වට්ටවා ඒක තමන්ට ඕනෑ විදිහට හැඩගස්වා ගන්නට එහි සංස්කෘතිය, සාරධර්ම කඩා බිඳ දැමීමෙන් ලෙහෙසියෙන්ම කරන්න පුළුවන්.
l එය තවදුරටත් විස්තර කළොත් ?
සෑම අංශයකින්ම ඊට උදාහරණ ගෙනහැර දැක්විය හැකියි. අධ්‍යාපනය ගැන කියනවා නම්, මෙරට විෂය නිර්දේශවලටත් යටත් නැති, මෙරට සිට පිටරට විභාගවලට සූදානම් වන සමහර සිසු සිසුවියන්ට කුඩා කල සිටම මෙරට සංස්කෘතිය, සාරධර්ම, පුරුෂාර්ථ පිළිබඳ කිසිම වැටහීමක් නැහැ. ඒත්, මෙරට හැම අන්තර්ජාතික පාසලක්ම එහෙමයි කියලා මං කියන්නේ නැහැ. හැබැයි හුඟක් එහෙමයි. ඉතින් එහෙම වටපිටාවක හැදෙන අයගේ සිතුම් පැතුම්, අදහස්, බලාපොරොත්තු ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. ඒ තුළ රට, ජාතිය, සමාජය ගැන හැඟීම් අඩු වීම පුදුමයට කරුණක් නොවෙයිනේ. හැබැයි සමාජයක් විදියට අපිට අපේ බාල පරම්පරාව විනාශයි කියලා කනගාටු වීමෙන් පමණක් සෑහීමට පත් වෙන්න බැහැනේ. ඊට මැදිහත්වීම් කළ යුතුයි. ඒ මොකද? කාලයක් තිස්සේ විටින් විට මෙවැනි උසිගැන්වීම් මතුවීම ‘56’දරුවන්ට අමුත්තක් නොවෙයි.
l ඒ කිව්වේ මේ කාරණාවත් කිසියම් උසිගැන්වීමක්ද?
එයට තවත් හොඳ ප්‍රවේශයක් ගත හැකි තැනක්, අද අපි කතා කරන කරුණත් එක්ක එහි ලොකු සම්බන්ධකමක් තියෙනවා. ‘56’ දරුවෝ කියන්නේ 1956 වර්ෂයට කලින් වරින් වර පැවැති ඉංග්‍රීසිය රාජ්‍ය භාෂාව වූ අඳුරු යුගයන් ගෙවීයෑමෙන් පසුව සිංහලෙන් ඉගෙන ගෙන මෙරට පරිපාලනය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ඉහළට පැමිණි පිරිසකට. ඒත්, ඒ කිසිවකුට ඉංග්‍රීසිය නැතුවම බැරිය කියල කිසිම අංශයකින් ඉහළට යෑමට ඒක බාධාවක් වුණේ නැහැ. ඊට ඕනෑ තරම් නිදසුන් ගෙනහැර දැක්විය හැකියි. ඒත්, සමහරු උසස් පන්තියේ අය වග සමාජයට ඒත්තු ගන්වන්නට තවම ඒ අදහස් නඩත්තු කරනවා. ඉන් සිංහල සංස්කෘතිය තවත් මොට වීමක් වෙන්නේ.
මෙරට සුප්‍රකට ක්ෂුද්‍ර ජීවී විද්‍යාඥවරයෙක් බිහි වුණේ මොනරාගලින්. ඔහු ස්වභාෂාවෙන් මූලික අධ්‍යාපනය ලැබූවෙක්. අද රාජ්‍ය සේවය, රාජ්‍යතාන්ත්‍රික සේවය ආදී ඉහළ තැන්වල ඉන්නා බහුතරයක් නිලධාරීන්ගේ තත්ත්වයත් එයමයි. ඒ අය මවු බසින් නිදහස් අධ්‍යාපනයේ මහිමයෙන් උගත් අයයි. ඉතින් ඊට තවත් ඕනෑ තරම් උදාහරණ දක්වන්න පුළුවන්. ස්වභාෂාවෙන් මූලික අධ්‍යාපනය ලැබීමෙන් පසුව ඉන් එහාට ඉංග්‍රීසියෙන් ඉගෙන ගත හැකියි. ඒ අනුව ඉංග්‍රීසියෙන් පමණක් පාසල් අධ්‍යාපනය දිය යුතුය කීම පිළිගත හැකි කරුණක් නොවෙයි. අනෙක, මවු බසින් උගත් විට තමයි ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවක් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. සත්‍යජිත් රායි කිවුවේත් ‘මං භාෂා ගණනාවක් දන්නවා. ඒත්, මං හිතන්නේ මගේ මවු භාෂාව වන බෙංගාලි බසින්… ’ කියලායි.
l පැය 100 – 150 වැඩපිළිවෙළ පිළිබඳත් ඔබට යම් අදහසක් ඇති?
ඒක කලක් තිස්සේ ක්‍රියාත්මකයි. ඒත්, එච්චර සාර්ථක නැති බවයි මගේ පුද්ගලික හැඟීම. ඊට වඩා පාසල් පද්ධතිය තුළ සිංහල සිසුන්ට දෙමළත්, දෙමළ සිසුන්ට සිංහලත් ඉගැන්වීම වැදගත්. 6 සිට 9 ශ්‍රේණි දක්වා දෙමළ ඉගැන්වීම තවදුරටත් දීර්ඝ කිරීම එක් පිළියමක්. සිංහලෙන් ඉගෙන ගන්නා පිරිසට දෙමළ විෂය අනිවාර්ය කිරීම තවත් යෝජනාවක්. එය 12 ශ්‍රේණිය වන තෙක්ම අනිවාර්යයෙන් ඉගැන්වීම අනිවාර්ය කිරීමෙන් පැය 100, 150 වැඩපිළිවෙළ හරහා අත්කරගත නොහැකි වූ තරමේ ඉහළ ප්‍රතිඵල ළඟා කර ගන්න පුළුවන්. ඉතිහාසයට නැවත හැරී බැලුවොත්, පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම මෙරට පාලනය ගෙන ගියේ කුළුබඩු ඇතුළු සම්පත්වලට ගිජුකමින්. ඒත්, පසුව මෙරට අභ්‍යන්තර බල අරගල සමඟ ආක්‍රමණය පිළිබඳත් ඒ තැනැත්තන් අවධානය යොමු කළා. එහි කෙළවර වුණේ අපට නුහුරු නුපුරුදු ඉංග්‍රීසිය රාජ්‍ය භාෂාව වීමයි.
l තොරතුරු තාක්ෂණය (IT) සිංහලෙන් උගන්වන්න බැහැයි කියලයි සමහරු කියන්නේ?
ඇයි බැරි? ඔය මං කලින් කිව්වා වගේ කාලයක් තිස්සේ ඒ ඒ මත හැඩගැස්වූ හැටි තමයි. දැන් ඒ බීජ වැඩී, ගස් තරමට උසට වැඩිලා කියලාත් හිතෙනවා. ඉතින්, දැන් ඇතැමුන් ඒවා පිළිගන්නා තැනටත් ඇවිත්. ඒ කොහොම වුණත් මහාචාර්ය වී. කේ. සමරනායක මෙරටින් බිහි වූ තොරතුරු තාක්ෂණ විෂයය පිළිබඳ පළමු මහාචාර්යවරයා. දෙස් විදෙස් ප්‍රකට ඔහු කුඩා කාලයේදී, ගල්ලෑල්ලේ – හුණු කූරෙන් සිංහලෙන් අකුරු කළ කෙනෙක්. ඒ තවත් උදාහරණයක්. මෛත්‍රීපාල සේනානායක, කේ. බී.රත්නායක ආදී තවත් විද්වතුන් පිළිබඳ නිදසුන් ඊට ගෙනහැර දැක්විය හැකියි.
l මවු භාෂා පිළිබඳ අන්තර්ජාතික පිළිගැනීම කුමක්ද?
මවු භාෂාව පිළිබඳ යුනෙස්කෝ අධ්‍යාපන ප්‍රඥප්තිය ආදියෙන් ඒ අයිතිය තහවුරු කෙරෙනවා. ඉන් ප්‍රාථමික අධ්‍යාපනයේ මුල් අවධියේ සිටම මවු භාෂාව පදනම් කර ගත් බහු භාෂා අධ්‍යාපනය සඳහා විවිධ රටවල රජයන් පෙරමුණ ගැනීම අගය කරනවා. මවු භාෂාවෙන් අධ්‍යාපනය ලැබීම ගුණාත්මක ඉගෙනීම සඳහා වන ප්‍රධාන සාධකයක් වන වග ඉන් තවදුරටත් අවධාරණය කෙරෙනවා. මෙයින් ඉගෙනීමේ ප්‍රතිඵල සහ අධ්‍යයන කාර්ය සාධනය වැඩි දියුණු කෙරෙනවා. විශේෂයෙන් ප්‍රාථමික අධ්‍යාපනයේදී දැනුමේ හිඩැස් මඟහරවා ගැනීමත් ඉගෙනීමේ හා අවබෝධයේ වේගය වැඩි කරවා ගැනීමටත් මවු භාෂාවෙන් ඉගෙනුම ලැබීම ඉවහල් වන බවත් ඉන් අවධාරණය කෙරෙනවා. අනෙක, මවු භාෂාවෙන් ඉගෙනීම බහු සංස්කෘතික පදනමක් ඇති කෙරෙන්නක් බව ඒ හරහා නැවත වතාවක් තහවුරු කෙරෙනවා. සමාජ, සාරධර්ම, සදාචාරය, ශිෂ්ටාචාරය නැති වන්නට මවු භාෂාවෙන් මූලික අධ්‍යාපනය නොලැබීම හේතුවක් විය හැකියි. අනෙක ඒ අනුව මෙරටත් වර්ෂ 1978දී සිංහල රාජ්‍ය භාෂාව බවට නීතිගත කර තිබෙනවා. එසේම එය මහජනතාවගේ මූලික අයිතිවාසිකමක්. එය කඩ වූ අවස්ථාවකදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැමිණිලි ගොනු කළ හැකියි. ඇත්තෙන්ම චින්තනය, අවබෝධය වැඩීමට මවු භාෂාව හැරෙන්නට වෙනත් භාෂාවකින් වන මෙහෙයක් නැහැ.
l ‘සංඥා භාෂාවට මෙරටින් කුඩම්මාගේ සැලකිලි ලැබෙන්නේ?
ඒ වග මම හඳුනාගෙන තියෙනවා. ඒ වගේම, ඒක එහෙම නොවෙන්න කටයුතු කරමින් සිටිනවා. හැබැයි එය මට තනිව කරන්න පුළුවන් දෙයක් නොවෙයි. එදිනෙදා සමාජයේදී කථන අපහසුතා ඇත්තන් පීඩාවට පත් වෙනවා. ඒත් එය නොවිය යුතුයි. අධිකරණ පද්ධතියේදීත් එය එසේම වන බවට විද්වතුන් පෙන්වා දෙනවා. දැනට නඩු කටයුත්තකදී සාක්ෂි දැක්වීම හෝ කරුණු ඉදිරිපත් කිරීමේදී කථන හැකියාව නැති තැනැත්තන් වෙනුවෙන් සංඥා භාෂාව පිළිබඳ දැනුමැති තැනැත්තන්ගේ සහාය ගැනෙනවා. ඒත් ඇතැම් විට එවිටත් හරි හැටි සන්නිවේදනය නොවීම් පිළිබඳත් වාර්තා වෙනවා. මෙරටත් ඉකුත් ඔක්තෝබර් 23දා අන්තර්ජාතික සංඥා භාෂා දිනය සැමරුවා. එසේම රට පුරා 380,000ක් කථන හැකියාව නැති තැනැත්තන් වෙසෙන බවත් වාර්තා වෙනවා.
අනෙක, විශේෂ අවශ්‍යතා ඇති තැනැත්තන් පමණක් නොවෙයි. කවුරුත් එදිනෙදා ජීවිතයේදී කොතෙකුත් සංඥා උපයෝගි කර ගනිමින් සන්නිවේදනයේ යෙදෙනවා. ක්‍රීඩාවේදීත් එය බෙහෙවින් භාවිත වෙනවානේ. ඉතින් අපි සමාජයක් විදිහට එකට ජීවත් වීමේදී විශේෂ අවශ්‍යතා ඇති එවැනි තැනැත්තන් වෙනුවෙන් පෙනී සිටීමට හා නිතර ඒ අයට සහයෝගය දැක්වීමට පෙලඹිය යුතුයි. අනෙක් අතට සලකා බැලුවාම එහෙම සාරධර්ම, සංස්කෘතියක් අපට උරුම වී තිබෙන්නේම මවු භාෂාව හරහා ඒ දැනුම, අවබෝධය, අත්දැකීම් පරම්පරාවෙන් පරම්පරාවට ගලා ආ නිසයි. ඒත් මේ අදූරදර්ශී තීන්දු තීරණ රටක් විදිහට ක්‍රියාත්මක කරන්නට පෙලඹීම නම් ඉතා භයානකයි. ඒ නිසා එවැනි අදහස්, යෝජනා පිළිබඳ මෙරට තීන්දු තීරණ ගන්නා උගත්, බුද්ධිමත් පිරිස් දැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා.
l භාෂා අයිතීන් කඩ වුණොත්, ගන්නා පියවර කුමක්ද?
ඒ පිළිබඳ සොයා බලා මැදිහත්වීම් කිරීම රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ වගකීමක්. අපි නොපිරිහෙළා ඊට කටයුතු කරනවා. ‘1956’ කෙටි දුරකතන අංකය ඒ සඳහා විවෘතයි. කිසිවෙක් පැමිණිලි ඉදිරිපත් කිරීමට බිය විය යුතු නැහැ. පැමිණිලිකාර පාර්ශ්වයේ අනන්‍යතාව රකිමින්, විශේෂයෙන් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවලදී මහජනතාව මුහුණ දෙන භාෂා අයිතීන් කඩවීමට අදාළව පියවර ගන්නවා. ඒ ස්ථානවලට ගොස් ඒ පිළිබඳ පරීක්ෂණ කරනවා. ඒ අනුව අදාළ වරද නිවැරැදි කිරීමටත් නිර්දේශ කරනවා. ඉන් නවතින්නේ නැහැ. අපේ ඒ නිර්දේශ නොපමාව, අදාළ ආයතනය ක්‍රියාවට නංවනවාද කියා පසුවිපරම් කරනවා. යම් විදිහකින් දිගින් දිගටම භාෂා අයිතීන් කඩ කරන එවැනි තැනැත්තන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමටත් රාජ්‍ය භාෂා කොමිෂන් සභාව පසුබට වන්නේ නැහැ.
නුවන් මහේෂ් ජයවික්‍රම
ඡායාරූපය – රංජිත් අසංක