අධිවේගී මාර්ග ජාලය පෞද්ගලීකරණය කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ (22) එහි සියලුම ශ්‍රේණිවල සේවකයන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් එහි රාජකාරි කටයුතු යුද්ධ හමුදා නිලධාරීන්ගේ මැදිහත්වීම මත සිදු කෙරිණි.
ඊයේ පෙරවරු 7 සිට මුදල් අයකැමිවරුන් සිය රාජකාරි කටයුතුවලින් ඉවත්වීම හේතුවෙන් එම කටයුතු හමුදා නිලධාරීන් විසින් සිය භාරයට ගැනුණු අතර, පැය භාගයක පමණ කාලයක් මූලික කටයුතු සිදු කර ගන්නා තෙක් අධිවේගී මාර්ගයේ ගමන් කරන පාරිභෝගිකයන්ට නොමිලේ යෑමට පහසුකම් හිමි විය. අනතුරුව හමුදා සෙබළුන් විසින් අධිවේගී මාර්ගයට ඇතුළු වන වාහනවලට පිවිසුම සඳහන් කර තාවකාලික රිසිට් පතක් නිකුත් කළ අතර, පිට වන ප්‍රදේශයේදී එය පරීක්ෂා කර මුදල් අය කරගැනීම ද සිදු කෙරිණි.
2022 වසර සඳහා අසනීප නිවාඩු සඳහා මෙතෙක් මුදල් ගෙවීමක් නොකර මාර්ග සංවර්ධන අධිකාරියට පමණක් කුඩම්මාගේ සැලකිලි දැක්වීම, අධිවේගී මාර්ගය ආරම්භ කර වසර 12ක් ගත වී ඇතත් මෙතෙක් අනුමත කිරීමට නොහැකි වී ඇති බඳවා ගැනීමේ පටිපාටිය හේතුවෙන් සියලුම සේවක කොටස්වලට හිමි විය යුතුව තිබු ශ්‍රේණි උසස්වීම්, උසස්වීම් තනතුරු මෙතෙක් නොලැබී යෑමෙන් මතු වී ඇති ගැටලු හා සිදුවී ඇති අසාධාරණයට විරෝධය පළ කිරීම ආදී කරුණු මුල්කර ගනිමින් මේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කෙරිණි.
යුද හමුදාව සහ පොලිසිය ද ආරක්ෂාව සඳහා යොදවා තිබෙන අයුරු දක්නට ලැබිණි.
අධිවේගී මාර්ගවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කටයුතුවල නිරත භට පිරිස්වල රාජකාරි කටයුතු යුද්ධ හමුදාධිපතිවරයා නිරීක්ෂණය කළේය.
කොට්ටාව සිට මාගම්පුර දක්වා වූ E- 1 අධිවේගී මාර්ගයේ අධිවේගී මාර්ගයේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ඇතුළු කටයුතු සඳහා ඒ සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය – බටහිර යටතේ සේවයේ නියුතු නිලධාරීන් 31 දෙනකු සහ සෙසු නිලයන් 233කු යොදවා ඇත.
ඔවුන් එම කටයුතුවල නිරතවන ආකාරය නිරීක්ෂණය කිරීමට යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා කොට්ටාව අධිවේගී පිවිසුම අසළ නීරීක්ෂණ චාරිකාවක නිරත වූයේය.