ශ්‍රී ලංකාවේ ඩොප්ලර් කාලගුණ රේඩාර් ජාලයක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියට රුපියල් මිලියන 335ක (ජපන් යෙන් මිලියන 168) මුදලක් ශ්‍රී ලංකාවට ප්රදානය කිරීමට ජපාන රජය තීරණය කර තිබේ.
සියලු රටවල දේශගුණය ආශ්රිත උපද්‍රව සහ ස්වාභාවික විපත්වලට ඔරොත්තු දීමේ හැකියාව සහ අනුවර්තනය වීමේ හැකියාව ශක්තිමත් කිරීම තිරසර සංවර්ධන ඉලක්කයක් වන අතර, කාලගුණික තත්ත්වයන් පුරෝකථනය කිරීම සහ කාලගුණ තොරතුරු බෙදා හැරීමට ආයතනික හැකියාවන් වැඩිදියුණු කිරීම මේ සංදර්භය තුළ පූර්ව අවශ්‍යතාවක් බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මේ කරුණ සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව තුළ ඩොප්ලර් රේඩාර් ජාලයක් ස්ථාපිත කිරීමට ජපන් රජය විසින් ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය හරහා ජපන් යෙන් මිලියන දෙදහස් පන්සිය තුනක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 3,422) ප්‍රදාන සහයෝගීතාවක් 2017දී දී තිබෙන අතර, මේ ප්‍රදාන සහයෝගිතාවයේ අරමුණ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රචාරය කරන කාලගුණ අනාවැකි සහ තොරතුරු වැඩිදියුණු කිරීමෙන් ව්‍යසනකාරී කාලගුණික සංසිද්ධි හේතුවෙන් ඇති වන උපද්‍රවවල අහිතකර බලපෑම් ඵලදායී ලෙස අවම කිරීම බව ද එම අමාත්‍යාංශය කියයි.
මේ අවස්ථාවේදී ජපාන රජය විසින් විශේෂයෙන් සාම්ප්‍රදායික සන්නිවේදනය අඩාළ විය හැකි අධික වර්ෂාව, අකුණු, නාය යෑම් වැනි දරුණු ආපදා අවස්ථාවලදී වුව ද, විශ්වසනීය ලෙස දත්ත සන්නිවේදනය සුරක්ෂිත කිරීමට අත්‍යවශ්‍ය අංගයක් වන ඉතා කුඩා විවර පර්යන්ත සන්නිවේදන පද්ධතියක් (VSAT) දීමට ජපන් යෙන් මිලියන එකසිය හැටක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 335 ක) පරිපූරක ප්‍රදාන ආධාරයක් දීමට එකඟ වී ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත්වලට ඔරොත්තු දීමේ හැකියාව සහ අනුවර්තිත ප්‍රතිචාර දැක්වීමේ ධාරිතාව ශක්තිමත් කිරීමට මේ ප්‍රදාන ආධාරය මහඟු අනුග්‍රහයක් වෙයි.
මේ ප්‍රදානයට අදාළ හුවමාරු පත්‍ර අත්සන් කිරීම මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයකි මහත්වරුන් විසින් ද, ප්‍රදාන ගිවිසුමට අත්සන් කිරීම මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත යමාඩා ටෙට්සුයා මහතා විසින් ද සිදු කෙරිණි.
මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේදී ඊයේ (22) සිදු කෙරිණි.